විස්සයි 20 ලෝක කුසලානයේ සුපර් ලීග් වටයට සුදුසුකම් ලැබීම සඳහා පවත්වන මුල්වටයේ සිවුවන තරගයේ දී නැමීබියාව පරදා කඩුලු 07ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙය ශ්‍රී ලංකා කණ්ඩායම 2021 විස්සයි 20 ලෝක කුසලාන තරගයේ දී මුහුණ දුන් පළමු තරගය විය.
අබුඩාබිහි දී පැවති මෙම තරගයේ දී මුලින්ම පන්දුවට පහර දුන් නැමීබියානු කණ්ඩායම පන්දු ඕවර 19.3 ක දී සියලු දෙනාම දැවී ලකුණු 96ක් රැස් කළේය.
නැමීබියාව වෙනුවෙන් ක්‍රෙග් විලියම්ස් පන්දු 36ක දී ලකුනු 29ක් හා ගෙහාඩ් එරස්මස් පන්දු 19ක දී ලකුණු 20ක් රැස් කළේය.
පන්දු යැවීමේ දී මහේෂ් තීක්ෂණ ලකුණු 25ට කඩුලු 3ක් ද, වනිඳු හසරංග ලකුණු 24ට කඩුලු 2ක් ද, ලහිරු කුමාර ලකුණු 09කට කඩුලු 02ක් ද ලබා ගත්තේය. චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කඩුල්ල බැගින් ලබා ගත්හ.
ලකුණු 96ක පහසු ඉලක්කයක් වෙත යෑමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුවල වූ කුසල් ජනිත් පෙරේරා සහ පැතුම් නිශ්ංශක මෙවරත් අසමත් වූයේය. පුහුණු තරගවල දී ඕමානය ඉදිරියේ දෙවරක් අසාර්ථ වුණු දිනේෂ් චන්දිමාල් නැමීබියාව හමුවේත් අසමත් වූයේය. පැතුම් නිශ්ශංක පන්දු 6ක දී ලකුණු 05ක් පමණක් ලබාගෙන සිටිය දී කඩුල්ල මුවාකිරීමේ වරදට හසු වී දැවී ගියේය. කුසල් ජනිත් පෙරේරා ලබා ගත්තේ ලකුණු 11කි. දිනේෂ් චන්දිමාල් පන්දු 12ක් වැය කර ලබා ගත්තේ ලකුණු 05කි. නැමීබියාව ලංකාවේ මුල් පෙළ කුඩු කළේය.
කෙසේ වෙතත් තවත් කඩුලු නොදී අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ තරගය නිමා කිරීමට සමත් වූහ. පන්දු 28ක දී අවිශ්ක ලකුණු 30ක් ලබා ගත්තේය. ඊට හයේ පහර 02ක් ඇතුළත් විය. භානුක රාජපක්ෂ පන්දු 27ක දී ලකුණු 42ක් ලබා ගත්තේය. ඊට හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් ඇතුළත් විය.
පන්දු ඕවර 13.3 දී ලකුණු 100ක් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක ජයග්‍රහණයක් හිමි කරගත්තේය.
පන්දු යැවීමේ දී නැමීබියාව වෙනුවෙන් රූබන් ට්‍රම්පල්මන්, බර්නාඩ් ස්කොල්ට්ස් ජේ.ජේ. ස්මිට් කඩුල්ල බැගින් ලබා ගත්හ.
පැතුම් නිශ්ශංක, දිනේෂ් චන්දිමාල් මෙන්ම කුසල් ජනිත් පෙරේරා තවම පිතිකරුවන් ලෙස ස්ථාවර නොවී මේ ක්‍රීඩාකරන අවිශ්වාසනීය විලාශය නිවැරදි නොවන්නේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමට දුර ගමනක් යෑම සිහිනයක් පමණක් විය හැකි බව දැනට පෙනී ගොස් ඇත.