ශ්‍රියානි විජේසිංහ –
මැණික්හින්න ග්‍රාමීය රෝහල් භූමිය තුල අවුරුදු උත්සවයක් පැවැත්වීමට අවසර ලබා දුන්නේ කවුද? රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට රෝහල් භූමිය තුලදී මත්පැන් පානය කිරිමට අවසර ලබා දුන්නේ කවුද? නිවාඩු ගෙන සිටින වෛද්‍යවරයා රාජකාරිය සඳහා වාර්තා කර ඇත්තේ කුමන පදනමකින්ද යන්න පිලිබඳව වහාම පරික්ෂණයන් පැවැත්විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාසර කළ විමසුමකදි පැවසුවේය.
මෙම රෝහල පළාත් සභාව යටතේ පාලනය වන රෝහලක් බැවින් එහි පරික්ෂණ කටයුතු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කළ යුතු වුවද මහජන පැමිණිල්ලක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉදිරිපත් වුවහොත් එය අමාත්‍යංශයේ විමර්ෂණ ඒකකය මගින් විමර්ෂණය කළ යුතු බවද එම ප්‍රකාශකයා පැවසුවේය.
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා නිරන්තරයෙන්ම පළාත් සභා මගින් පාලනය වන රෝහල්වල කටයුතු අධීක්ෂණයට ලක් කල යුුතු නමුත් එවැනි අධීක්ෂණයක් කිසිදු රෝහලක සිදු නොවීමද මෙවැනි වරදවල් ඇතිවීමට හේතුවක් වී ඇති බවද හෙතෙම පෙන්වාදේ.
සෞඛ්‍ය නිලධාරීන්ගේ වගකීම හා වගවීම මගහැරීමෙන් යහපත් රෝගී සත්කාර සේවාවක් බලාපොරොත්තු විය නොහැකි යැයිද ඔහු වැඩිදුරටත් පවසා සිටියි.
මෙම සිද්දිය සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ පළාත් සෞඛ්‍ය සේවා අමාත්‍යංශය මගින් විමර්ශනය සිදුකරන බවත් එම වාර්තාව ලැබුණු පසුව ගත යුතු ක්‍රියාමාර්ගයන් මොනවාද යන්න තීරණය කළ හැකි බවත් ය.