පසුගියදා මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එහි රඳවා සිටි විදේශීය කාන්තා රැඳවූවන් 28 දෙනෙකු ඇතුළු කාන්තා රැඳවූවන් 73 දෙනෙකු ඊයේ (08) රාත්‍රියේ වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා තිබේ.
ඒ අනුව රැඳවියන් 33 දෙනෙකු වාරියපොල බන්ධනාගාරය වෙතත්, අනෙක් රැඳවියන් 40 දෙනා පල්ලේකැලේ බන්ධනාගාරය වෙතත් මෙලෙස මාරු කර යැවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජේ.සී ගජනායක ප්‍රකාශ කළේය.
පසුගිය 05 සහ 06 යන දිනවල මීගමුව බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් බන්ධනාගාර දේපළවලට බරපතළ හානි සිදු විය. මෙම හානිවීම් හේතුවෙන් පවත්නා ආරක්ෂක තත්ත්වය සහ ඉඩකඩ සීමිත වීම් සලකා බලා මෙම රැඳවියන් පිරිස වහාම ක්‍රියාත්මක වන පරිදි මෙලෙස වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මීගමුව බන්ධනාගාරයේ පිරිමි රැඳවියන් පිරිසක් අතර ගැටුම හටගත් අවස්ථාවේ දී, ඊට යාබද කොටසක රඳවා සිටි කාන්තා රැඳවූවො ද නොනවත්වා විරෝධතාවයක නිරත වූහ. එහිදී විරෝධතා දැක්වූ කාන්තා රැඳවූවන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලේ වහලය මතට පවා නැග විරෝධය පළ කර ඇති අතර, එම අවස්ථාවේ දී වහලයේ කොටසක් කඩා වැටීමෙන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පිරිමි රැඳවූවන්ගේ ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීමෙන් පසුව ද කාන්තා රැඳවූවන් සිය විරෝධතාවය අඛණ්ඩව ඉදිරියට ගෙන ගිය බවයි.







