මීගමුව බන්ධනාගාරය තුළ පුද්ගල ජීවිත 27ක් අහිමි වෙමින් මහා ඛේදවාචකයක් දක්වා තත්ත්වය ඔඩු දිවීමට ප්‍රධානතම හේතුව බන්ධනාගාර විෂය භාර ඇමැතිවරයා ඇතුළු රජය නිසි දේශපාලන නායකත්වයක් ලබා නොදී අදූරදර්ශීව කටයුතු කිරීම බව විපක්ෂය අද (07) පාර්ලිමේන්තුවේදී දැඩිව චෝදනා කළේය.
සිද්ධිය දරුණු ලෙස වර්ධනය වෙමින් පවතිද්දී, ඒ පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා අධිකරණ හා බන්ධනාගාර ඇමැතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට පවා නිලධාරීන්ට නොහැකි වී ඇති බව විපක්ෂය අනාවරණය කළේය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන නීතිඥ අජිත් පී. පෙරේරා සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සභාවේදී මේ පිළිබඳව ඉතා විවේචනාත්මකව කරුණු දැක්වූහ.
පූර්ව බුද්ධි තොරතුරු නොසලකා හැරීම
මීගමුව බන්ධනාගාරය තුළ මෙවැනි ගැටුමක් ඇති වීමට නියමිත බවට දින තුන හතරකට පෙර සිටම බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, වගකිවයුත්තන් ඒ පිළිබඳව කිසිදු පියවරක් ගෙන නොමැති බව මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. ඉකුත් 5 වැනිදා සිදුවූ පළමු ගැටුමෙන් රැඳවියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව විසි ගණනක් තුවාල ලැබූ අවස්ථාවේදීම මෙහි බරපතලකම වටහාගෙන අදාළ පාර්ශ්වයන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගත යුතුව තිබූ බව ඔවුහු සඳහන් කළහ.
නමුත් එවැනි කිසිදු තීරණයක් නොගෙන අනුවණ ලෙස කටයුතු කිරීම හේතුවෙන්, දෙවැනි දිනයේදී 27 දෙනකුට ජීවිත අහිමි වූ බිහිසුණු ඛේදවාචකය සිදු වූ බවට ඔවුහු චෝදනා කළහ.
ඇමැතිවරු පැය ගණන් අතුරුදන්
ගැටුම ඔඩු දුවන අවස්ථාවේදී තීරණ ගැනීමට සිටින ඉහළම බලධාරීන් සහ ඇමැතිවරුන් පැය හයක් හතක් යනතුරු දුරකථන ඇමතුමකටවත් සම්බන්ධ කර ගැනීමට නොහැකිව බන්ධනාගාර නිලධාරීන් දැඩි ලෙස අසරණ වී ඇති බව මෙහිදී හෙළි විය. රටේ පවතින නායකත්වයේ සහ කළමනාකාරිත්වයේ දුර්වලතාව මේ තුළින් මැනවින් පිළිබිඹු වන බව මන්ත්‍රීවරු පැවසූහ.
එසේම, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළම නායකත්වයේද දැඩි හිඩැසක් පවතින බවත්, වසරකට අධික කාලයක් තිස්සේ වැඩබලන තනතුරුවලින් පාලනය වීමද මේ අර්බුදයට හේතුවක් බව ඔවුහු පෙන්වා දුන්හ. ඉරිදා දින සිදුවූ ගැටුම නිසි ලෙස කළමනාකරණය කළේ නම් සඳුදා දිනයේ මෙවැනි විනාශයක් සිදුනොවන බව විපක්ෂය අවධාරණය කළේය.
ජනපති අනුරගේ පැරණි ප්‍රකාශ මතක් කරති
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක විපක්ෂයේ සිටියදී බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැක්වූ අදහස්ද මෙහිදී මතක් කර දීමට විපක්ෂ මන්ත්‍රීවරු කටයුතු කළහ.
“බන්ධනාගාරගත කර සිටින සියලු දෙනා රාජ්‍යයේ භාරයේ පසුවන්නන්. ඔවුන් කවුරුන් වුවත් ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සැපයීම රජයේ වගකීමක් බව එදා විපක්ෂයේ සිටියදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. නමුත් අද මෙතරම් විශාල ඛේදවාචකයක් සිදුවී තිබියදීත් ආණ්ඩුවෙන් නිල නිවේදනයක්වත් නිකුත් කර නැහැ.” මෙසේ කීවේ හර්ෂණ රාජකරුණා මන්ත්‍රිවරයාය.
මුළු රටම ව්‍යාකූල, භයානක තත්ත්වයකට පත්ව ඇති බවත්, කිසිදු නිසි තීන්දුවක් හෝ අනුමැතියක් නොමැතිව පාලනය ගිලිහී ගොස් ඇති බවත් ඔවුහු පැවසූහ. මීගමුව බන්ධනාගාරයෙන් පුපුරා ගියේ රාජිකත්වත්වයට පත් මේ රටේ යතාර්ථය බව ඔවුහු අවධාරණය කළහ.
මේ අනුව, සිදුවූ මහා විනාශයේ වගකීම භාරගෙන අධිකරණ හා බන්ධනාගාර විෂය භාර ඇමැතිවරයා වහාම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී දැන්වූහ.









