ඉඳුනිල් කහටපිටිය-
ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය සම්බන්ධයෙන් රටක් දක්වා ඇති ප්‍රගතිය අනුව සිදුකරනු ලැබූ වර්ගීකරණයක දී ශ්‍රී ලංකාව ලොව සිව්වන විශාලතම දියුණුව සනිටුහන් කර ඇති ආර්ථිකය ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක නම් කර තිබේ.
එම වාර්තාවේ ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇත්තේ ඉතා වේගයෙන් ඉදිරියට පැමිණි සීමිත රටවල් කණ්ඩායමකට (Fast Movers) අයත් රටක් වශයෙනි. මෙම දත්ත මත කළ ඇගයීමේ දී ලොව විශාලතම වර්ධනය වියට්නාමය විසින් වාර්තා කර ඇති අතර, බෙලීස් සහ මොසැම්බික් යන රටවල් පිළිවෙළින් ඊළඟ ස්ථාන ලබාගෙන තිබේ.
ඇගයීමේ පදනම
නැඟී එන සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සහිත රටවල් අතරින් ආයෝජක සබඳතා (Investor Relations) සහ ණය විනිවිදභාවය (Debt Transparency) සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති මෙම සුවිශේෂී ප්‍රගතිය අනාවරණය වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (Institute of International Finance – IIF) විසින් නිකුත් කරන ලද ‘Investor Relations and Debt Transparency Report 2026: The Transparency Dividend’ නැමැති නවතම වාර්තාව මඟිනි.
ලොව පුරා නැඟී එන සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් 57ක් ඇසුරින් සකස් කළ මෙම ඇගයීමේදී ශ්‍රී ලංකාව ලබාගෙන ඇති සමස්ත ආයෝජක සබඳතා රටවල් ශ්‍රේණිගත කිරීමේ අගය (Investor Relations Country Score) 50න් 43.67ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. 2025 වසරේදී ශ්‍රී ලංකාව ලබාගෙන තිබුණේ ලකුණු 37.33ක් පමණි. මෙම කැපී පෙනෙන වර්ධනයත් සමඟ ශ්‍රී ලංකාව මෙම සමීක්ෂණයට ලක්වූ රටවල් අතරින් ඉහළම අගය (Top Quartile) නියෝජනය කිරීමට ද සමත්ව තිබේ. මෙම ඇගයීමට ලක්වූ සමස්ත රටවල සාමාන්‍ය අගය ලකුණු 36.1 සිට 37 දක්වා සුළු වර්ධනයක් පමණක් පෙන්වද්දී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය කැපී පෙනේ.පසුගිය වසරට සාපේක්ෂව වසරින් වසර සිදුවූ වර්ධනයන් සැලකීමේදී එය ලකුණු 6.3ක ප්‍රගතියක් වාර්තා කර ඇත
කැපී පෙනෙන වෙනත් අත්පත් කරගැනීම්
විශේෂිත ක්ෂේත්රයන් යටතේ ද ශ්‍රී ලංකාව ඉහළ දක්ෂතා පෙන්වීමට සමත්ව ඇත. ඒ අනුව ණය විනිවිදභාවය පවත්වා ගැනීම මෙන්ම පාරිසරික, සමාජීය සහ පාලන (ESG) දත්ත හා ප්‍රතිපත්තිමය තොරතුරු ප්‍රචාරය කිරීම යන අංශ දෙකෙන්ම ඉහළම ප්‍රගතියක් පෙන්වූ රටවල් අතර පස්වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව ලබා ඇති මෙම ප්‍රගතියට හේතුව ශක්තිමත් ණය විනිවිදභාවය සහ ආයෝජකයින් සමඟ පවත්වාගෙන යනු ලබන යහපත් සබඳතා බවය. ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය යටතේ 2024 දෙසැම්බර් මාසයේදී නිල වශයෙන් ආරම්භ කරන ලද ‘ආයෝජක සබඳතා වැඩසටහන’ (Investor Relations Program) හරහා අනෙකුත් රාජ්‍ය ආයතන ද සම්බන්ධ කර ගනිමින් රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) විසින් සිදුකළ මැදිහත්වීම් මෙම සාර්ථකත්වයට ඍජුවම දායක වී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) පෙන්වා දෙන පරිදි, රාජ්‍ය මූල්‍ය, ණය සහ ප්‍රතිපත්තිමය තොරතුරු වඩාත් පැහැදිලිව සහ ස්ථාවරව සන්නිවේදනය කිරීම හේතුවෙන් ආයෝජකයන් තුළ පවතින අවිශ්වාසය සහ අවිනිශ්චිතභාවය අවම වී ඇත. මේ හරහා ඉදිරියේදී මෙරටට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ වෙත පිවිසීමට වඩා හොඳ ප්‍රවේශයක් ලැබෙනු ඇති අතර, කාලයත් සමඟ ණය ලබා ගැනීමේ පිරිවැය (පොලී අනුපාත) පහත හෙළීමට ද මෙය මහෝපකාරී වනු ඇති බව එම සංවිධානය පවසයි.
ලොව පුරා මූල්‍ය ආයතන සාමාජිකත්වය දරන ගෝලීය සංගමයක් වන ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) මගින් කළ මෙම ඇගයීමේ දී මැන බලනු ලබන්නේ රටක සමස්ත ආර්ථික සංවර්ධනය හෝ වර්ධන වේගය නොව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය සම්බන්ධයෙන් රටක් දක්වා ඇති ප්‍රගතිය පමණි.







