අමායා උඩුවැරැල්ල –
රුසියාව, යුක්රේනයට එරෙහිව යුධ උපක්‍රමයක් ලෙස රසායනික අවි භාවිතා කරන බවට එක්සත් ජනපදය නිල වශයෙන් චෝදනා එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව රුසියානු සමාගම්වලට සහ රජයේ ආයතනවලට විශාල සම්බාධක පැනවීමට ද පියවර ගෙන ඇති බව සඳහන්.
ඊයේ එනම් බදාදා ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ රසායනික අවි සම්බන්ධයෙන් වන සම්මුතිය (CWC) උල්ලංඝනය කරමින් රුසියාව යුක්‍රේන හමුදාවන්ට එරෙහිව ක්ලෝරොපික්‍රින් නම් රසායනික ද්‍රව්‍ය භාවිතා කර ඇති බවයි.
එමෙන්ම රුසියාව රසායනික අවි සම්බන්ධයෙන් වන සම්මුතිය උල්ලංඝනය කරමින් යුද්ධය අතරතුර කඳුළු ගෑස් ද භාවිතා කර ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් රුසියාව එක්සත් ජනපදය එල්ල කල චෝදනාව අද ප්‍රතික්ෂේප කල අතර මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ මෙවැනි නිවේදන සම්පූර්ණයෙන්ම පදනම් විරහිත වන අතර ජාත්‍යන්තර නීතිය යටතේ රුසියාව සිය බැඳීම් වලට බැඳී සිටින බවයි.
කෙසේ නමුත් මේ මස මුලදී පලකල වාර්තා ද උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ක්ලෝරොපික්‍රින් වලට අමතරව රුසියානු හමුදා තවත් රසායනික වායු පටවන ලද අත්බෝම්බ යුක්රේන හමුදාවන්ට එරෙහිව භාවිතා කර ඇති බවයි. අවම වශයෙන් යුක්රේන සොල්දාදුවන් 500 ක් පමණ විෂ ද්‍රව්‍යවලට නිරාවරණය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ඇති අතර කඳුළු ගෑස් මත හුස්ම හිරවීමෙන් එක් අයෙකු මිය ගිය බව ද එම වාර්තා වල සඳහන් වනවා.