අමායා උඩුවැරැල්ල –
සීතා දේවිය වෙනුවෙන් කැප වූ සීතාඑළිය ප්‍රදේශයේ පිහිටා ඇති සීතා අම්මාන් කෝවිලේ අභිෂේක මංගල්‍යය සඳහා ඉන්දියාවේ සරයු ගංගාවේ පූජනීය ජලය ශ්‍රී ලංකාව ට එවීමේ ක්‍රියාවලිය ඉන්දියාව විසින් ආරම්භ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
සීතා අම්මාන් කෝවිලේ අභිෂේක මංගල්‍යය එලඹෙන මැයි 19 වන දින සිදු කිරීමට නියමිත ව ඇති අතර ආගමික වතාවත් සඳහා සරයු ගංගා ජලය සහ සීතා දේවියගේ පිළිමය කැප කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නියෝජිතයන් උත්තර් ප්‍රදේශ් හි රජයට ලිපියක් යොමු කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වල සඳහන් වන්නේ.
උත්තර් ප්‍රදේශ් හි ප්‍රාන්ත රජයේ නියෝගය යටතේ සරයු ගංගාවේ ශුද්ධ ජලය ශ්‍රී ලංකාව වෙත ප්‍රවාහනය කිරීමේ වගකීම සංචාරක දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා. මෙම තීරණය මගින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආගමික හා සංස්කෘතික හුවමාරු සඳහා පහසුකම් සැලසීමට ඉන්දීය රජය දක්වන කැපවීම පෙන්නුම් කරන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබෙනවා. එමෙන්ම සීතා අම්මාන් කෝවිලේ පැවැත්වීමට නියමිත අභිෂේක මංගල්‍යයයේ වැදගත්කම සහ හවුල් සංස්කෘතික උරුමයන් හරහා ද්වීපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීමේ වැදගත්කම මින් ඉස්මතු වන බව ද එරට මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි අයෝධ්‍යා නගරයේ ඇති ශ්‍රී අයෝධ්‍යා ජී තීර්ථ විකාස් පරිෂාද් හි ප්‍රධාන විධායක නිලධාරී සන්තෝෂ් කුමාර් ෂර්මා, සීතා අම්මාන් කෝවිලේ නියෝජිතයින්ගේ ඉල්ලීම ඉටු කිරීම සඳහා තම කැපවීම ප්‍රකාශ කර තිබෙන අතර, මැයි 19 වන දිනට යෙදී ඇති චාරිත්‍ර සැලසුම් කළ පරිදි ගෞරවාන්විතව හා අව්‍යාජභාවයෙන් සිදු කිරීමට සහතික වී තිබෙනවා.
සීතා අම්මාන් කෝවිලේ උත්සවය සැලකෙන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමගිය සහ අධ්‍යාත්මික සම්බන්ධතාවයන් ගේ සංකේතයක් ලෙසයි. එහි වැදගත්කම ආගමික සීමාවලින් ඔබ්බට විහිදෙන අතර ජාතීන් දෙකෙහි හවුල් ඉතිහාසය සහ සංස්කෘතික උරුමයන් විදහාපාන බව ද ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
ආරක්ෂණ පනත් Quarantine Law අනුව වෙනත් රටක සිට ජලය ගෙන ඒම තහනම් ක්‍රියාවක්.