අමායා උඩුවැරැල්ල –
හමාස් සංවිධානය විසින් ඊයේ (28) සෙනසුරාදා දින ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකුගේ, එනම් ඇමරිකානු ජාතිකයෙකු වන කීත් සීගල් සහ ඊශ්‍රායල ජාතික ඔම්රි මිරාන් ගේ වීඩියෝවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එම වීඩියෝවේ සීගල් විසින්, හමාස් සංවිධානය සමඟ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගනුදෙනුවක් සඳහා සාකච්ඡා කරන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගෙන් කරන ඉල්ලීමක් දැක්වෙනවා.
පසුගිය වසරේ ඔක්තෝම්බර් 7 වන දා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයක දී සටන්කාමීන් විසින් මොවුන් දෙදෙනා පැහැරගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
හමාස් සංවිධානය මුදා හැරි වීඩියෝ පටය ඔවුන් රූගත කළේ කොතැනක ද, කවදාද යන්න පිළිබඳව විදෙස් මාධ්‍යයන් ට තවමත් තහවුරු කර ගැනීමට නොහැකි ව ඇති නමුත් වීඩියෝවේ දී ප්‍රාණ ඇපකරුවන් පසුගිය අඟහරුවාදා දින අවසන් වූ යුදෙව් පාස්කු උත්සවය සැමරීමට නොහැකි වූ බව පවසා තිබෙනවා. එමෙන්ම මිරාන් පවසන්නේ ඔහු දින 202 ක් එහි සිටින බවයි. ඒ අනුව හැඟවෙන්නේ වීඩියෝව රූගත කර ඇත්තේ බ්‍රහස්පතින්දා දිනයේ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම සතිය මුලදී ද හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවෙකුගේ ප්‍රකාශයක් සහිත වීඩියෝවක් නිකුත් කරන ලද අතර ඔහු ද ඔක්තෝම්බර් 7 වන දා පැහැර ගැනීමට ලක් වූ ඊශ්‍රායල ඇමරිකානු සම්භවයකින් යුත් හර්ෂ් ගෝල්ඩ්බර්ග් පොලින් නම් අයෙක්. එම වීඩියෝ පටයේ දී පොලින්ගේ වම් අතේ කොටසක් ඔහුට අහිමි වී ඇති ආකාරයක් දක්නට ලැබෙනවා.
ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් සංසද මූලස්ථානය විසින් නිකුත් කල වීඩියෝවක සීගල් සහ මිරාන් ගේ පවුල් වල සාමාජිකයන් හමාස් සංවිධානය නිකුත් කල නවතම දර්ශනවලට ප්‍රතිචාර දැක්වූ අයුරු සඳහන් වනවා.එහි දී ඔවුන් එලඹෙන මැයි 14 වන දිනට යෙදෙන නිදහස් දිනය වන විට ප්‍රාණ ඇපකරුවන්ට ආපසු පැමිණීම සඳහා ගනුදෙනුවක් ලබා ගැනීමට ඊශ්‍රායල රජයෙන් කඩිනම් පියවරක් ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත් ඊශ්‍රායල සහ ඊජිප්තු බලධාරීන් සිකුරාදා දිනයේ විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් එතෙක් නැවතී තිබූ සාකච්ඡා ඉදිරියට ගෙන ඒමේ උත්සාහයේ කොටසක් ලෙස ඊජිප්තු දූත පිරිසක් ඊශ්‍රායලයේ සිටින බවයි.