අමායා උඩුවැරැල්ල –
ඩුබායි හි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් විසින් අල් මක්ටූම් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඩිරාම් බිලියන 128 ක් (ඩොලර් බිලියන 34.85) වටිනා නව මගී පර්යන්තයක් ඉදි කරීම සඳහා වන සැලසුම් අනුමත කර තිබෙනවා.
මේ බව ඔහු පසුගිය ඉරිදා දින X හි සටහනක් තබමින් නිවේදනය කර තිබෙනවා. අල් මක්ටූම් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වූ විට එයට වාර්ෂිකව මගීන් මිලියන 260 ක් පමණ හැසිරවීමේ ධාරිතාව තිබෙන බව වාර්තා වනවා.
දැනටමත් ලෝකයේ කාර්යබහුලම ගුවන් මධ්‍යස්ථානයක් වන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට වඩා මෙහි පර්යන්තය පස් ගුණයකින් විශාල වන අතර පසුව ඩුබායි ගුවන් තොටුපළේ සියලුම මෙහෙයුම් අල් මක්ටූම් ගුවන් තොටුපළ වෙත මාරු කරන බව ඩුබායි හි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ නිවේදනයේ සඳහන්.
එමෙන්ම අල් මක්ටූම් ගුවන් තොටුපළට පර්යන්ත ගේට්ටු 400 ක් සහ ධාවන පථ පහක් ද ඇතුළත් වන බව සඳහන් වනවා. මෙම ගුවන් තොටුපළ එරට ප්‍රමුඛතම ගුවන් සේවය වන එමිරේට්ස් සහ අඩු වියදම් ගුවන් සේවයක් වන ෆ්ලයි ඩුබායි මෙන්ම, ඩුබායි වෙත සහ ඉන් පිටත ලෝකය සම්බන්ධ කරන සියලුම ගුවන් සමාගම් හවුල්කරුවන්ගේ නව නිවහන වනු ඇති බව ඩුබායි රජය සතු ගුවන් සමාගමේ සභාපතිවරයා පවසා තිබෙනවා.
ගුවන් තොටුපළ වටා සම්පූර්ණයෙන්ම නව නගරයක් ඉදිකෙරෙන අතර, මිලියනයක පමණ ජනතාවකට නිවාස සඳහා ඉල්ලුමක් ඇති කරන බව ඩුබායි පාලකයා වැඩිදුරටත් පවසා තිබෙන අතර එරට මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙම පියවර මගින් ලෝක වේදිකාවේ ප්‍රමුඛතම ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස ඩුබායි හි තත්ත්වය තවදුරටත් තහවුරු වනු ඇති.