බලාපොරොත්තු සහගත ගමනක යෙදෙන ශ්‍රී ලංකා යෞවනයෝ 19න් පහළ ලෝක කුසලාන තරගයේ විශිෂ්ට ක්‍රීඩා විලාශයක නිරතවෙමින් ඊයේ අපරාජිතව සුපර් ලීග් වටය සඳහා සුදුසුකම් ලැබූහ.
ඒ ඊයේ සත්කාරක බටහිරි ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයෙන් තියුණු කඩුළු 03ක ජයග්‍රහණයක් ලබා ගනිමිනි.
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි බාසෙටෙරේ ක්‍රීඩාංගනයේ දී ඊයේ පැවති තරගයේ කාසියේවාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්වන්ට මුලින්ම පන්දුවට පහරදීමට ඇරයුම් කළේය.
බටහිර ඉන්දීය කොදෙව් යෞවනයන් පන්දු ඕවර 50 අවසානයේ දී කඩුලු 9කට ලකුණු 250ක් රැස් කළහ. කෙවින් වික්හම් ලකුණු 56ක්, ටෙඩී බිෂොප් ලකුණු 45ක්, ජොර්දාන් ජොන්සන් ලකුණු 47ක්, රිවාල්ඩෝ ක්ලාක් ලකුණු 45ක් බටහිර ඉන්දීය කොදෙව්වන් එක් කළහ.
පන්දු යැවීමේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා යොවුන් නායක දුනිත් වෙල්ලාලගේ පන්දු ඕවර 10ක් යවා ලකුණු 39කට කඩුළු 03ක් බිඳහෙළුවේය. මතීෂ පතිරණ ලකුණු 67කට කඩුලු 02ක්, ට්‍රෙවින් මැතිව් ලකුණු 39ට කඩුල්ලක් දවා ගත්තේය.
පිළිතුරු සොයා හඹා යෑම ආරම්භ කළ ශ්‍රී ලංකා යෞවනයන්ගේ ආරම්භක පිතිකරුවන් වූයේ චමිඳු වික්‍රමසිංහ සහ සදිශ් රාජපක්ෂය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සදිශ් රාජපක්ෂ පන්දු 115කට මුහුණ දෙමින් ලකුණු 76ක් රැස් කළේය. වේගවත් පිතිකරණයක යෙදුනු ශෙවොන් ඩැනියෙල් පන්දු 33ක් තුළ දී ලකුණු 34ක් රැස් කළේ හතරේ පහර පහක් සහ එක් හයේ පහරක් සමගිනි.
එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් ඉවසිලි සහගත වෘත්තීය ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ සදිශ් කඩුලු රකින ක්‍රීඩක අන්ජුල බණ්ඩාර අතර අතර සිවුවන කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 78ක සම්බන්ධතාවය තරගය ජයග්‍රහණයේ පදනම මත පිහිටවනු ලැබුවේය. තරගයේ පන්දු ඕවර 39 පන්දු 04ක් පිටියේ රැඳී සිටි සදිශ් රාජපක්ෂ දැවී යන්නේ මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 199ක්ව තිබියදීය.
ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලු දැවී යද්දී පන්දු ඕවර 48 පන්දු 2ක් තුළ දී ජයග්‍රාහී ඉලක්කය පසුකළේය. ලකුණු 28ක් ලබාගෙන රන්දුල සෝමවීර සහ ලකුණු 06ක් ලබාගෙන යසිරු රොඩ්රිගෝ නොදැවී පිටියේ රැඳී සිටියහ.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවනේ මැක් කෙනී ක්ලාර්ක් සහ ඉසායි තෝර්න් කඩුලු 02 බැගින් බිඳ හෙලූහ.
ඩී කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 06ක් සහ 0.75ක දල ලකුණු වේගයක් සමග මේ වනවිට කාණ්ඩයේ ඉහළින්ම සිටී.
ශ්‍රී ලංකාව දැන් සිම්බාබ්වේ හෝ ඇෆ්ගනිස්තානය සමඟින් බොහෝ දුරට ලබන 27 වැනිදා අර්ධ අවසන් තරගයට ක්‍රීඩා කරනු ඇත.
තරගයේ වීරයා සදේශ් රාජපක්ෂය.