මේ වසරේ පැවැත්වීමට නියමිත සමස්ත ලංකා වයස 19න් පහළ රග්බි ලීග් තරගාවලිය අවලංගු කිරීමට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය පියවර ගෙන තිබේ.
කොවිඩ් වසංගය හේතුවෙන් එම තරගාවලියත්, පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියත් මෙසේ අවලංගු කර ඇතැයි වාර්තා වෙයි.
පාසල් රග්බි පිටියේ වාර්ෂිකව පැවැත්වෙන සමස්ත ලංකා වයස අවුරුදු 19න් පහළ රග්බි ලීග් තරගාවලියට කාණ්ඩ 3ක් යටතේ පාසල් කණ්ඩායම් 32ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබිණි.
එම තරගාවලිය පසුගිය මාර්තු මාසයේ මුල් සතියේදී ආරම්භ කළ අතර මාසය මැද දී කොවිඩ් වසංගතයේ අවදානම නිසා කල් දැමීමට සිදුවිය.
ලබන ඔක්තෝබරයේ සිට නොවැම්බර් මැද භාගය දක්වා උසස්පෙළ විභාගය පැවැත්වෙන බැවින් ද, ඉන් පසුව සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන බැවින් ද ඉහත කී තරගාවලි පැවැත්වීමට කාලය ප්‍රමාණවත් නොවීම නිසා මේ තීරණය ගෙන ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
පාසල් රග්බි පිටියේ ප්‍රධානතම තරගාවලිය වන ලීග් රග්බි තරගාවලියට ක්‍රීඩා කරන සිසුන්ගෙන් සැලකිය යුතු පිරිසක් මේ වසරේ පාසල් හැර යාමට නියමිත උසස්පෙළ සිසුහු වෙති.
එබැවින් ඔවුන්ගේ ඉදිරි අනාගතයට අවශ්‍ය ක්‍රීඩා සහතිකය ලබාදීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට ද පාසල් රග්බි සංගමයේ අවධානය යොමුවී තිබේ.
ඒ අනුව වයස 19න් පහළ ක්‍රීඩකයන්ට සාමාජිකයන් 10 දෙනකුගෙන් සමන්විත කණ්ඩායම් අතර තරගාවලියක් පැවැත්වීමට එම සංගමය තීරණය කර ඇතැයි ද ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කීවේය.
දින 3ක් පුරා පැවැත්වෙන එම දස සාමාජික රග්බි තරගාවලිය බොහෝ දුරට ලබන නොවැම්බරයේ උසස්පෙළ විභාගයෙන් පසු සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙර කාලවකවානුවක පැවැත්වීම කෙරෙහි පාසල් රග්බි සංගමයේ අවධානය යොමුවී ඇතැයි ද වාර්තා වෙයි.