මහනුවර රෝහලේ ගිලන්රථ රියදුරන් හා ආරක්ෂක අංශ නිලධාරීන් අතර ගැටුමකින් ගිලන් රථ රියදුරෙක් සහ ආරක්ෂක අංශ නිලධාරීන් තිදෙනෙක් තුවාල සහිතව රෝහල්ගත වී ඇතැයි මහනුවර රෝහල් ආරංචි මාර්ග කියයි.
දැනගන්නට ඇති පරිදි සිද්ධිය මෙසේය.
මහනුවර රෝහලේ සේවයේ යෙදී සිටි ආරක්ෂක අංශ නිලධාරියෙක් අද (08) සවස 5ට පමණ කුඩයක් කරකවමින් පැමිණ ඇත. එසේ එන විට කුඩය අසල සිටි ගිලන් රථ රියදුරෙකුගේ ඇඟේ වැදී තිබේ.
එම සිද්ධිය බහින්බස් වීමක් වී ගුටි බැට හුවමාරුවක් තෙක් දුර දිග ගොස් ඇත. ගුටි හුවමාරුවෙන් පසු තුවාල ලද ගිලන් රථ රියදුරු රෝහල්ගත වී තිබේ.
මේ සිද්ධියෙන් කුපිත වූ ගිලන් රථ රියදුරන් එකතු වී ඒ අවස්ථාවේ සේවයේ නිරත වී සිටි සියලුම ආරක්ෂක නිලධාරීන්ට පහර දී ඇත.
එම පහර කෑමෙන් තුවාල ලද ආරක්ෂක අංශ නිලධාරීන් තිදෙනෙක් රෝහල්ගත වී තිබේ.
මේ වනවිට සිද්ධිය සමතයකට පත් වී ඇති අතර මහනුවර රෝහල් පොලිසිය සහ මහනුවර පොලිසීය පරීක්ෂණ පවත්වයි.