ශ්‍රී ලංකාව තුළ මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩියෙන් ගෙවීමක් ලබන සියලු පුද්ගලයන් සහ අංශ කිහිපයක සේවයේ නියැළෙන වෘත්තීකයන් හා ව්‍යාපාර, දේපොළ හෝ ඇතැම් වාහන හිමිකාරීත්වය දරන පුද්ගලයන් සඳහා අද 1 සිට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය අනිවාර්ය කර ඇත.
ඊට අදාළ ගැසට් නිවේදනය මුදල්, ආර්ථික ස්ථායීකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කොට ඇත.
ඒ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අනිවාර්යෙන්ම ලියාපදිංචි විය යුතු වෘත්තීකයන් මෙසේය.
- ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්
- ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි සාමාජිකයන්
- ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයන්
- ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයන්
- ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයන්
- ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ සංගමයේ සාමාජිකයන්
- ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයන්ගේ ආයතනයේ සාමාජිකයන්
- ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්
- ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයින්
- මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයන් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර)
- ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළක් මිල දී ගෙන ඇති හෝ අත්පත් කරගෙන ඔප්පුවක් හුවමාරු කර ගෙන ඇති පුද්ගලයන්
- මාසිකව සේව්‍ය-සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු.20,000 ට වැඩි දායකත්වය මුදලක් ඕනෑම පාරිතෝෂිත අරමුදලකට හිමිකම් කියනු ලබන සේවකයන්
- දේශීය අධිකාරීන්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් ලැබූ ඕනෑම අයෙකු
- ශ්‍රී ලංකාව තුළ මාසිකව රු.100,000 ක් හෝ වාර්ෂිකව රු.1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඕනෑම අයෙකු
ඊට අමතරව මෙම වසරේ දෙසැම්බර් 31 වැනි සිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති සියලු දෙනාම මේ යටතේ ලියාපදිංචි කිරීමට නියමිතය.