කීර්ති ප්‍රනාන්දු –
අද දහවල් හමා ගිය සැඩ සුළඟකින් මරදගහමුල නගරය මධ්‍යයේ ඉදිකරමින් තිබූ විශාල තොරණක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා දිවුලපිටිය දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
තොරණ මුදුනේ රූප රාමු සහ විදුලි රැහැන් සවි කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු මෙසේ තුවාල ලබා ඇති බව පවසන පොලිසිය තොරණ කඩා වැටෙන අවස්ථාවේදී එහි නැගී පුද්ගලයන් පස් දෙනකු පමණ වැඩ කටයුතු කරමින් සිට ඇති බවද පවසයි .
එහෙත් අනෙක් තිදෙනා නැග සිට ඇත්තේ තොරණේ පහළ කොටසේ බැවින් ඔවුන් හට අනතුරක් සිදුවී නැතැයි පොලිසිය කියා සිටි .
තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු තොරණ කඩා වැටෙනවාත් සමගම බිමට පැන ඇති අතර අනෙක් පුද්ගලයා තොරණ සමග බිමට පහත් වීමත් සමග ඇද වැටී ඇතැයි පොලිසිය පැවසීය .
තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොමැති බව දිවුලපිටිය දිසාරෝහලෙන් කළ විමසීමකදී එහි වෛද්‍යවරයෙකු ලංකා සරට පැවසීය .
මෙම තොරණ වසරක් පාසා මරදගහ මුල නගරයේ ඉදිකරන තොරණක් බවත් තොරණ නැවත සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද පොලිසිය කීය .