ජානක ලියනආරච්චි
අද (21) අධිකරණයට ඉදිරිපත් වු හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඇප මත නිදහස් වූවාය.
ඇයව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අධිකරණ තීන්දු ලැබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත්වන වාර්තා මතය.
ශ්‍රී ලංකා පුරවැසි භාවය නොමැතිව අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඩයනා ගමගේ විසින් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇය සැක කාරියක ලෙස නම් කර ඇයට එරෙහිව මෙම විමර්ශනය ආරම්භ වන්නේ ඇය විජාතික කාන්තාවක් බවත් ඇය ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවත් තහවුරු කර ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් අනතුරුව ඇයගේ පාර්ලිමේන්තු සාමාජිකත්වය ද අහෝසි වීමෙන් පසුය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇය සැකකාරියක ලෙස නම් කරන්නේ ඊයේ (20) දිනයේ ය. ඒ ඇයගේ විජාතික භාවය සම්බන්ධව තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් නිකුත් කිරීමෙනුත් සති තුනකට පසුවය.
ඇය සැක කාරියක ලෙස නම් කරන්නට පෙර සීඅයිඩි ය ඇයව සැකකාරියක ලෙස නම් කරන්නදැයි අධිකරණයෙන් අසන්නේය. ඉදිරිපත් වූ කරුණු විශ්ලේෂණය කිරීමේදී ඩයනාගමගේ සැකකාරියක් වශයෙන් නම් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී ඇති බව සීඅයිඩි ය අධිකරණයට කියන්නේ ඊයේ දිනයේය. ඒ අනුව ඇය සැකකාරියක් වශයෙන් නම් කිරීමට අවසර දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණයෙන් ඉල්ලන්නේය.
අපරාධකරුවෙකුට අපරාධ චෝදනාා ඇතිනම් ඒ මිනිහා හෝ ගැහැනිය සැකකරුවෙක් ලෙස නම් කරන්නට අධිකරණයේ නියමක් අවශ්‍ය වන්නේ නැත. අධිකරණය සීඅයිඩිය ට කියන්නේ කරුණු තිබේනම් ඩයනා ගමගේ සැකකාරියක් වශයෙන් නම් කළ යුතු බවය. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේ නීතියට අනුව කටයුතු කරමින් අවශ්‍ය පියවර ගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසය. අධිකරණය විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඩයනා ගමගේ සම්බන්ධව නීතියට අනුව කටයුතු කරන ලෙසට ලබා දුන් දෙවැනි නියෝගය මෙයය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තිකාර ඩයනගේ පාර්ශවය ඉදිරිපත් කර තිබූ කරුණු සලකා බලා සැකකාරිය රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
එමෙන්ම අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන්ට අගතියක්වන ආකාරයේ අනවශ්‍ය ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙසත් සැකකාරියට අධිකරණය නියෝග කර තිබිණි.
අද ඩයනා ගේ මෝසම කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ පෙනී සිටියේ නැත.
අපේ සීඅයිඩි ය මේ තරම් සුරතල් බව අප දැනගෙන හිටියේ නැත. ඒ දැනුම ඉදිරියට අපට ලැබිය හැකි ආතල් එකේ තරම පිළිබඳව ඉඟි කර තිබේ. මක්නිසාද යත් සිඅයිඩි යත් හුරතල් වෙමින් ඇත්තේ පාස්පෝට් එකක් සම්බන්ධ ගනුදෙනුවකට නොව රටක් අන්දවා රටේ ව්‍යවස්ථාව බල්ලට දමා ආණ්ඩුව සහ ඩයනා ගමගේ නම් විජාතික කාන්තාව කළ බිහිසුණු වංචාවක් සම්බන්ධ අපරාධයක් ගැනය.
මේ බිහිසුනුකමේ සංක්ෂිප්තය මෙසේය.
අපේ සංචාරක ඇමතිකම කරන්නේ පුරවැසි භාවය තබා රටේ ජීවත්වීමට වලංගු වීසා බලපත්‍රයක්වත් නැතිව රට තුළ නීති විරෝධීව රැඳී සිටිනා සංචාරක කාන්තාවක් බව පාර්ලිමේන්තු මහලේකම්වරයා දැනගෙන සිටියේය. කතානායකවරයා දැනගෙන සිටියේය. ඇයට රාජ්‍ය ඇමතිකමක් දී සංචාරක රාජ්‍ය අමාත්‍යාංශය භාර දුන් ජනාධිපතිවරයා දැනගෙන සිටියේය. ව්‍යවස්ථාවේ පිහිටෙන් ජනාධිපති වී ව්‍යවස්ථාව ආරක්ෂා කරගැනීම සඳහා මරාගෙන මැරෙන්නට ටෝක් දෙන ජනාධිපති තුට්ටු දෙකේ ගෑණියක් වෙනුවෙන් ව්‍යවස්ථාවේ අගය වැසිකිලි කඩදාසියක ගානට දැම්මේය.
මේ නඩුව යනතාක් කල් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටියේ ඩයනා ගමගේ වෙනුවෙනි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිටියේ ද ඩයනාගේ පැත්තේය. සියලුම අපරාධ තොරතුරු හෙළිදරව් කරමින් පොලිසිය ගැසූ බී රිපෝට් එකේත් ඇය සැක කාරියක ලෙස නම් කළේ නැත. එම බී රිපෝට් එක ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරියා ද වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුකළ බව පාර්ලිමේන්තුවේ දී කියැවිනි.
ඩයනා ගමගේ ගැන සියලුම තොරතුරු දැනගෙන ආගමන විගමන පාලකවරයා ඇයට රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් නිකුත් කරන්නේ ඇය විජාතික කාන්තාවක් නිසා ඇයට ගමන් ගමන් බලපත්‍රයක් නිකුත් කළ නොහැකි බවට ආරක්ෂක ලේකම්වරයාට සහ පාර්ලිමේන්තු මහලේකම්වරයාට හිටපු ආගමන විගමන පාලකවරයා ලිඛිතව දන්වා ඇති පසුබිමකය.
රටක් බල්ලාට වැටෙනවා කියන්නේ මේ වැනි අවස්ථාවන් කරන විග්රහයන්ගෙන් පසුය. මේ රටේ දේශපාලන කුපාඩිකම්වල ප්‍රමාණයේ හරස්කඩක් දැන් අප ඉදිරියේ දිස්වෙමින් ඇත. ඩයනා ගමගේ සම්බන්ධ කතාව හුදකලා එක් සිද්ධියක් නොවන බව තේරුම් ගෙන එම සිද්ධිය ගලා යන හැටි සබුද්ධිකව බලා සිටින ලෙස ඉල්ලා සිටිමු.







