ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර්ගේ රුධිර සාම්පල. නියපොතු ඇතුළ දේහ කොටස් මෙන්ම අපරාධ ස්ථානයේ තිබී විමර්ශන නිලධාරීන් සොයාගත් ස්ථානීය සාක්ෂි කීපයක් සම්බන්ධව ඩීඑන්ඒ පරීක්ෂාවක් සිදුකිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (03) අවසර ලබා දුන්නාය.
අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ලද ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරිය අදාල නියෝගය නිකුත් කළාය.
මෙම මරණය ඝාතනයක් ද නැතිනම් සියදිවි නසා ගැනීමක් ද යන්න අනාවරණය කරගැනීම සඳහා විමර්ශන සිදුකරන බැවින් බොරැල්ල පොලිසිය විසින් ස්ථානයේ තිබී සොයා ගන්නා ලද වයර් කැබැල්ල, ලේ තැවරුණු රෙදි, දිනේෂ් ෂාෆ්ටර්ගේ නියපොතු, ලේ සාම්පල, සොකෝ නිලධාරීන් විසින් සොයාගත් ස්ථානීය සාක්ෂි හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයේ දී සොයා ගත් සාක්ෂි රජයේ රස පරීක්ෂක වෙත යොමු කර රස පරීක්ෂක වාර්තාවක් සහ ඩීඑන්ඒ වාර්තාවක් කැඳවන ලෙසට අධිකරණ නියෝගයක් නිකුත් කරන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් කළ ඉල්ලීමට අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.