මට ළමයෙක් වගේ තමයි. මේ දුක දරාගන්න අමාරුයි.
කළු මාමා කීවේය. කළුමාමා නැදුන්ගමුව හස්ති රාජයාගේ ගමන් සගයාය.
“අවුරුදු විස්සක් විතර මම තනියම බැලුවා. ගමේ ගියත් මාස දෙක තුනකට සැරයක් තමයි ගෙදර යන්නෙ. ඒ ගිහිල්ලත් ආයෙ විගහට එනවා.“ කළුමාමා කොහෝ ගියත් හිත තිබුනේ ඇත් රජු ලඟය.
“අද වෙනකම් අපි දෙන්න එකට හිටියෙ. හරියට යාලුවො වගේ. ඒ කියන්නෙ එයා මට ගහලත් නෑ. හිරිහැර කරලත් නෑ. මමත් එහෙමයි. කවදාවත් හිරිහැර කරලා නෑ. අපි දෙන්න කොහේ ගියත් කොහෙ හරි නැවතිලා පාඩුවෙ ඔහෙ ඉන්නවා.“
“ඉස්සර අපිට හමුදා ගාර්ඩ් එක තිබුණෙ නෑ මෑතකදි තමයි හමුදා ගාර්ඩ් එක ලැබුනෙ.“
හස්ති රාජයාට විය හැකි අනතුර සම්බන්ධව සලකා බලා ඔහු හමුදා රැකවරණය ලැබෙන්නේ වර්ෂ 2016 දී ය.
“ඇතා මේ දවස්වල කම්බුල් තෙමිලා හිටියෙ. “ කළු මාමා කියන්නෙ ඇතා මද කිපී සිටි බවය.
“ඒ නිසා ඇතා බැඳලා හිටියෙ. බැඳලා ඉන්නකොට එකපාරටම ගහේ නිදිය ගත්තු ගමන් නැතිවුනේ. “
“මටත් හිතාගන්න බැරි වුනා මොකද උනේ කියලා… මට සෑහෙන දුකක්. මට මගෙ දරුවෙක් නැතිවුනා වගේ තමයි ඉතින්..“
“ඊටත් වඩා දුකයි…“ කළු මාමාගේ ඇස්වලින් කඳුළු බේරුණේය.