නැගී එන පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකුගේ පාසල් දිවියේ තීරණාත්මක තරග දෙකක් ඔවුන්ට අහිමි කළ පෞද්ගලික ක්‍රීඩක කළමනාකරුවකුට විරුද්ධව එම විදුහල් වලින් චෝදනා එල්ල වී ඇත.
යාපනය ශා.ජෝන් විදුහලේ මාතුලන් හා වත්තල ලයිසියම් විදුහලේ ගරුක සන්කේත් යන වේග පන්දු යවන්නන් දෙදෙනා විදුහල් වලටත් නොදන්වා අයිපීඑල් කණ්ඩායම් වල දැල් පන්දු යවන්නන් ලෙස යැවීමට අමිල නම් වූ මෙම පෞද්ගලික ක්‍රීඩක කළමනාකරු කටයුතු කර තිබේ.
මම විශාල ගෙවීමක් මේ වෙනුවෙන් සිදු කරන බවට ක්‍රීඩකයන් දෙදෙනාගේ දෙමව්පියන් නොමඟ යවා මොවුන් සති දෙකකට ඉන්දියාවට යවා ඇත්තේ අදාල පාසල් දෙකට ඔවුන්ගේ සේවය තීරණාත්මක තරග දෙකකට අහිමි කරවමිනි.
මේ හේතුවෙන් මෙම ක්‍රීඩකයන් නොමැතිව ක්‍රීඩා කළ ශා.ජෝන් විදුහල ඔවුන්ගේ මහා ක්‍රිකට් තරගයේ එක් දින තරගය යාපනය මධ්‍ය මහා විද්‍යාලයට පැරදුනු අතර ලයිසියම් පිල ඔවුන්ට දෙවෙනි පෙළ සිට පළමු පෙළ දක්වා සුදුසුකම් ලැබීමට තිබූ අවසන් පූර්ව තරගය පරාජයට පත් වීමට සිදු විය.
මෙසේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් සමග ගිවිසුම් ගතවී මුදල් පෙන්වා ඔවුන් මෙතෙක් හදා වඩා ගත් පාසල් වලට ද්‍රෝහී වන මට්ටමට ගෙන එන මෙම පෞද්ගලික ක්‍රිකට් ඒජන්තවරුන්ගෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් බේරා ගැනීම පාසල් ක්‍රිකට් සංගමයේ හා ක්‍රිකට් පාලක මණ්ඩලයේ වගකීමකි.