ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායනවිද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය නිල්වලා කෝට්ටෙගොඩය. නැනෝ තාක්ෂණය යොදාගෙන නැනෝ යූරියා නිශ්පාදනය කර පේටන්ට් අයිතිය මේ රටට ගෙනාවේ ඇය ඇතුළු ඇයගේ පර්යේෂණ කණ්ඩායමය. ඒ ව්‍යාපෘතිය පේටන්ට් බලපත්‍ර හතරක් හිමිකරගැනීම දක්වා ගෙන යෑමට ඇයගේ ව්‍යාපෘතියට හැකි විය.
එහෙත් මේ වනවිට ඒ පේටන්ට් බලපත්‍රය අපෙන් මිල දී ගෙන ඉන්දියාව ලෝකයට නැනෝ යූරියා නිශ්පාදනය කරන්නේ.
මේ වනවිට ඉන්දියාවෙන් ගෙන්වා ඇති නැනෝ දියර පොහොර සමග මහාචාර්ය නිල්වලා කෝට්ටෙගොඩ සම්බන්ධව විශාල කථිකාවක් රටේ ඇති විය. ඇය ඒ පිළිබඳව බීබීසී සිංහල සේවයේ ෂර්ලි උපුල් කුමාර සමග කළ විශේෂ සාකච්ඡාවක් කළාය.
මේ පළවන්නේ මහාචාර්ය නිල්වලා කෝට්ටෙගොඩ බී.බී.සී. සිංහල සේවයේ ෂර්ලි උපුල් කුමාර සමග කළ විශේෂ සාකච්ඡාවය.
-
නැනෝ යූරියා තාක්ෂණය ලෝකයේ පළවෙනි වරට හොයාගත්තේ මා ඇතුළු මගේ පර්යේෂණ කණ්ඩායම. ඒ මීට අවරුදු 12කට කලින්… මේක හොයාගත්තට කිසිම ආයෝජනයක් සිද්ධ වුනේ නෑ.
-
යූ.එස්. පේටන්ට් එක ගත්තු සොයාගැනීම් 04ක් දක්වා මේ ව්‍යාපෘතිය වැඩි දියුණු කළා. නැනෝ යූරියා ගැන ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකාව දැකලයි ඉන්දියානු පොහොර සමාගම කතා කළේ.
-
තාක්ෂණය ලබා දීමේ පේටන්ට් අයිතිය හුවමාරු වුනේ රාජ්‍යයන් දෙක අතර ගිවිසුමක් විදිහට. මා නවොත්පාදකයෙක්. මට කවුරුත් බැනලා වැඩක් නෑ.
-
ලෝකෙ පළවෙනි තැනට එන්න පුළුවන් තරම් පුදුම හිතෙන පර්යේෂණ ප්‍රමාණයක් සිද්ධවෙලා තියනවා. ඒත් ඒ පර්යෙෂණ තියෙන්නෙ අපේ රාක්කවල.
-
මේ වනවිට පොහොර සම්බන්ධව ගොවියො නගින අඳෝනාවට පර්යේෂකයන් හා විද්‍යාඥයින් විදිහට ඔබට උත්තරයක් දෙන්න පුලුවන් ද?
කෙටියෙන්ම අපි කියමුකො ඔව් කියලා.
-
මොකක් ද ඒ දෙන උත්තරය?.
කෘෂිකර්මාන්තය ගැන කතා කරද්දි පොහොර ප්‍රධානම දෙයක්. ඒ ප්‍රශ්නයෙ දි ලෝකය අද උත්සාහ කරන්නේ climate smart fertilizer ( දේශගුණික සාධකවලට වඩාත් ගැලපෙන පොහොර) වලට යන්න.
අපි විද්‍යාඥයො විදිහට මේ ප්‍රවනාතාව හඳුනාගෙන පර්යේෂණ කරන්න ගත්තෙ ලඟදි නෙමෙයි. පොහොර සම්බන්ධව තියන ප්‍රශ්නවලට වෙනස් මාර්ගයක පිළිතුරු හොයන්න අපි ලංකාවේ මේ පර්යේෂණ පටන් ගත්තේ වර්ෂ 2010 දි . දැනට අවුරුදු දෙලාහකට කලින්.
-
වඩාත් තේරෙන විදිහට පැහැදිලිව ඔබගෙ සොයාගැනීම ගැන කියන්න පලුවන් ද?
ඕනෑම ශාකයක් හැදෙන්න නයිට්‍රිජන් පොස්පරස් පොටෑසියම් ඕන. නයිට්‍රිජන් කියන්නෙ විශේෂම දෙයක්. මොකද නයිට්‍රිජන්වල විශේෂ ප්‍රශ්නයක් තියනවා. නයිට්‍රිජන් පසට දැම්මට පස්සෙ ඔය දාන ටිකෙන් සියයට 50 – 70ක් අතර ප්‍රතිශතයක් විනාශ වෙනවා.ඉන් ගහක් ලබා ගන්නේ සියයට 30යි. ලංකාව වගේ රටක් යූරියා පිටරටින් ගෙන්නලා පාවිච්චි කරද්දි යූරියාවලට වැය කරන මුදලින් සියයට හැත්තෑවක් විනාශ වෙනවා.
ඒ වගේම පරිසර දූෂණය, හරිතාගාර වායු විමෝචනය, ජල චක්‍රය සහ පොලව දූෂණය වීම සිද්ධ වෙනවා. ලබා දෙන ප්‍රමාණයෙන් ගන්නෙ සියයට 30ක් විතරක් ගන්න නිසා මේ රසායන ද්‍රව්‍ය දාන්න ඕන අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිය. ඕක එක ප්‍රශ්නයක්.
පොස්පරස් සම්බන්ධවත් ප්‍රශ්නයක් තියනවා. රොක් පොස්පේට්වලින් තමයි පොස්පරස් හදන්නේ. මේ පොහොරින් වැඩි ප්‍රතිශතයක් ගස් වලට උරාගන්න බෑ. දියවෙන්නෙ නෑ. එත් පොටෑසියම් ගත්තම පොටෑසියම් වැඩිපුර දියවෙනවා.
මේ ප්‍රශ්නයට උත්තරයක් හොයන්න තමයි 2009 අලුතින් පටන් ගත්ත ශ්‍රී ලංකා නැනෝ ටෙක්නොලොජි ආයතනය එක්ක අපි පර්යේෂණ පටන් ගත්තේ. මේ ආයතනය පුද්ගලික හා රාජ්‍ය ඒකාබද්ධ ආයතනයක්. රජයට සියයට 50ක් කොටස් අයිතියක් තියන ආයතනයක්. මේ ආයතනය මහාචාර්ය තිස්ස විතාරණ ගේ සංකල්පයකින් පටන් ගත්තේ.
එන්.පී.කේ. සම්බන්ධ ප්‍රශ්නයට නැනෝ තාක්ෂණය පාවිච්චි කර උත්තරයක් සෙවීම අපි මේ ආයතනය එක්ක එකතුවෙලා කළ එක ව්‍යාපෘතියක්. මගේ කණ්ඩායමටම මේ පර්යේෂණය සම්බන්ධව ගෞරවය හිමි විය යුතුයි.
මේ පර්යේෂණයේ දි අප තීරණය කළා නැනෝ අංශුවක් යොදාගෙන මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න. නැනෝ කියන්නේ හරිම පොඩි අංශුවක්. එහි තේරුම ඇඟුටු මිට්ටා. මීටරයක් බිලියනයකට බෙදලා එක් කොටසක් ගත්තොත් ඒක නැනෝ මීටර එකයි.
කෙස් ගහක් ගත්තොත් කෙස් ගහක විශ්කම්භය නැනෝ මීටර අසූ දාහක්. අපි කළේ නැනෝ අංශුවක් හදා ගත්තා. නැනෝ මීටර 30 – 50ක ඉතා කුඩා අංශුවක් ඒක.
මේ අංශුව හැදුවට පස්සේ මෙයාගෙ පෘෂ්ඨීය වර්ඵලය වැඩියි. එතකොට අපට ඒක උඩ වෙන වෙන විදිහෙ වෙනස්කම් කරගන්න පුලුවන්. අපි කළේ තනියම තියෙද්දි බොහොම දඟලන යූරියා අංශු ටික අරගෙන මේ පුංචි අංශුවට සවි කළා. මේකට සවි කළ ගමන් මෙයාට දැන් දඟලන්න බෑ. දැන් යූරියා අංශුව එලියට දාන්නේ ඒයා බැඳන් ඉන්න නැනෝ අංශුව විසින්. යූරියා ක්‍රමානුකූලව මුදාහැරීම තමයි නැනෝ අංශුවකට සම්බන්ධ කරලා කළේ. අන්තිමට හැදුනේ පෝෂක මුදා හැරීම පාලනය වන පොහොරක්.
ඒ විතරක් නෙමෙයි. තව වැදගත් කමක් තියනවා. අපි නැනෝ අංශුවක් ගත්තේ කල්පනා කරලා. මේ පොස්පරස් අංශුව නැනෝ අංශුවකට සම්බන්ධ කළා. පොස්පරස් දියවෙන්නෙ නෑනෙ. නමුත් මෙයා නැනෝ අංශුවකට බැඳුනට පස්සේ දියවෙන්න ගත්තා. දැන් කාර්යක්ෂමව ගහට අවශ්‍ය පොස්පරස් දෙන්නත් පුලුවන්.
මේක සංකල්පයක් වශයෙන් හරි සරලයි. දඟලන කෙනාව අල්ලලා ගැටගහලා තිබ්බා. එතකොට මෙයාට දඟලන්න බෑ. හිමින් යන්නේ.
දැන් සියයට හැත්තෑවක් විනාශ වෙන යූරියා එහෙම විනාශ වෙන්නෙ නෑ. අපි මේ පෝෂණ පදාර්ථ දුන්නේ මුල් වලින්. වැදගත්ම දේ ඒකයි. පසෙන් තමයි ශාකය සමතුලිත පෝෂණය ලබා ගන්නෙ. ඒක ලබාගන්න අපි මේ නැනෝ තාක්ෂණයෙන් හදපු පොහොර පසට දීලා තිබ්බා.
එතකොට ගහට අවශ්‍ය පෝෂණ පදාර්ථ හොඳින් ලැබෙනවා. මේක ඕන කෙනෙකුට තේරෙනවා
-
සංකල්පය සරල උනාට මේක ජාත්‍යාන්තර වශයෙන් වැදගත් කමක් ලැබුණා නේද?
ජාත්‍යාන්තර වශයෙන් ඉතාම ඉහළ වැදගත් කමක් ලැබුණා. මේ සොයාගැනීමේ වැදගත්කම හරියටම තේරුම් ගත්තේ ජාත්‍යාන්තරය.
මේ පොහොරවල විශේෂත්වය මේකයි. මේක අපි හැදුවෙ පසට. මේකට ඉස්සරහට අවශ්‍ය විදිහෙ සාධනීය වෙනස්කම් කරන්නත් පුලුවන්.
උදාහරණයක් විදිහට පොස්පරස් අමුණන්න. සින්ක් ටිකක් අමුණන්න.
සංවර්ධනය කරපු ගමන් අපි කළේ පේටන්ට් බලපත්‍රයකට ඉල්ලුම් කළා. යූ.එස්. පේටන්ට් ඔෆීස් එකෙන් ඉල්ලුවේ. යූ.එස් පේටන්ට් එකක් ගන්න ලේසි නෑ. ඉල්ලුම් පත්‍රයක් දැම්මාම ඒ අය මේකට ලඟින් යන එකක්වත් තියනව ද කියලා හොයලා බලනවා. මගේ කණ්ඩායමේ හිටියේ හරිම දක්ෂ ළමයි පරිසක්. එයාලා කරපුවා හරිම සාර්ථක වුණා. අපට ඒ අයගේ සොයා බැලීමේ වාර්තාවෙන් ආවෙ එය ලෝකයේ පළමු පර්යේෂණය විදිහට. ඊට කලින් මේ වගේ දෙයක් ලෝකෙ වෙලා තිබුණෙ නෑ. අපි කළේ යූරියා නැනෝ තත්වයට ගෙනාපු එක. මේ සංකල්පය හරිම අලුත් වුණා.
ඇත්තටම මට ආඩම්බරයි ඒ දවස්වල හිටි අපේ කණ්ඩායම ගැන. අපට ඇමරිනක් පේටන්ට් ඔෆීස් එකෙන් පේටන්ට් බලපත්‍ර හතරක් දක්වා මේ ගමන දික් කරන්න පුලුවන් වුනා. අපි හදපු විවිධාකාරයේ නිශ්පාදන තියනවා. ඒ තත්වයට අපි මේ ව්‍යාපෘතිය අරගෙන ගියා.
-
දැන් අප විමසන ඊලඟ අදියරේ දි ඔබගේ නමත් ඈඳෙනවා. මේ සොයාගත්තු නැනෝ නිශ්පාදනය ඔබ ඉන්දියාවට දුන්නා කියලා කියනවා. මෙය පැහැදිලි කරන්න පුලුවන් ද?. ඇත්තටම මේකෙ අයිතියක් අපට තියනව ද?. නැද්ද?. මොකක් ද මේ ඉන්දියාවට වික්කා කියන්නෙ?,
ඕක තමයි පහුගිය කාලෙ තිබුණු උනුසුම් මාතෘකාව. මෙතනදි ඇත්තටම සිද්ධ වුනේ මේකයි. අපි මේ පොහොර හැදුවා. පේටන්ට් එක ගත්තා. ඒ වුනාට මේකට අතගහන්න කවුරුත් හිටියෙ නෑ.
මං පටන් ගනිද්දි ලෝකයේ නැනෝ නිශ්පාදන තිබුණෙ නෑ. නැනෝ තාක්ෂණයෙන් කෘෂිකර්මයට පේටන්ට් 400ක්වත් තිබුණෙ නෑ. එච්චරටම ඒ අවධිය ලාබාලයි. අපි කරපු කටයුත්ත මොනතරම් සාර්ථක වුනත් ආයෝජනයක් ආවෙ නෑ. ඒ නිසා අපේ විද්‍යාඥයො විදිහට අපේ කණ්ඩායම හරිම අපේක්ෂා භංගත්වයට පත් වෙලා හිටියෙ. අපි බොහොම අමාරුවෙන් ගොඩ නගපු දේ. කවුරුත් හිටියෙ නෑ මේක වෙළෙඳපලට අරන් යන්න.
ඉතින් අපි ඒ ගමන තීරණය කළා පොඩි පර්යේෂණ පත්‍රිකාවක් ලියනවා කියලා. ඒක අපි ලියලා දැම්මා. මේක හරිම අහම්බෙන් සිදුවුණු දෙයක්. ඉන්දියානු පොහොර සමාගමක් මේ පර්යේෂණ පත්‍රිකාව දැකලා තිබුණා. මේ අයට තේරුණා මේකෙ අනාගත විභවයක් තියනවා කියලා.
-
ඒ කියන්නෙ එම සමාගමට තේරුණා ලංකාවේ අපට නොතේරුණ දේ.
ලංකාවත් තේරුම් ගන්න ඇති කියලා මා හිතනවා. නමුත් අපිට ආයෝජනය කියන එක ප්‍රශ්නයක්නෙ. මේ ගනුදෙණුව සම්බන්ධව මට තමයි පළවෙනි ඊ මේල් එක ආවෙ. ඔවුන් කිව්වා මේ ටෙක්නොලජි එක ඔවුන් ගන්න කැමතියි කියලා.
මේ සෑම පේටන්ට් එකක්ම අයිති නැනෝ තාක්ෂණ ආයතනයට. අපි නව නිපැයුම්කරුවො. එවැනි කණ්ඩායමක්ම ඉන්නවා පේටන්ට් එක බැලුවොත්. මම මේ ඉන්දියන් සමාගමට කිව්වා හරි, මෙන්න මේ ආයතනයෙ ප්‍රධානියා… ඔවුන් එක්ක සාකච්ඡා කරගන්න කියලා. මා එම ඉන්දියානු ආයෝජකයාව නැනෝ තාක්ෂණ ආයතනටය සම්බන්ධ කළා.
ඒ අය සාකච්ඡා කළා ලංකාවෙ ආණ්ඩුවත් එක්ක. නැතිව හිතූමතේට පේටන්ට් එකක් එහෙම දෙන්න බෑ, අපි ගිවිසුමකට ආවා.
නැනෝ තාක්ෂණ ආයතනය පිහිටුවීමේ අභිලාෂය අලුත් දේවල් සොයාගෙන ගොඩ නගලා ඒ තාකෂණය ඔස්සේ රටට සල්ලි ගේන එක්. ඒක රට තුළවෙන්න පුලුවන්. නැතිනම් ජාත්‍යාන්තරව වෙන්න පුලුවන්. ඉතින් මේ සම්බන්ධව මට කාටවත් දොස් කියන්න බෑ. මේ කටයුත්ත සිද්ධවෙලා අවුරුදු 11කට පස්සෙ තමයි නැනෝ පොහොර ගැන ලොකු කථිකාවක් රට ඇතුළෙ ගොඩනැගෙන්නෙ.
-
රාජ්‍යයන් දෙකක් අතර වුන මේ ගනු දෙනු නිසා පර්යේෂණ ගණනාවකට මග විවර වුනා ද?.
ඔව්. මේ ගනුදෙනු සිද්ධ වෙන්නෙ පිටරට නම් වැඩිය හොඳයි… විදේශ විනිමය එනවා. එන්නෙ ඩොලර් වලින්. චීනය ඇමරිකාව වැනි රටවල ආර්ථිකයට සියයට 30ක් 40ක් එන්නෙ ඔය ආකෘතියෙන්.
අපිත් ඒ මොඩල් එකට ගියා. අලුත් චින්තනයක්. ඒක ඔස්සේ තාක්ෂණය දුන්නා. ගිවිසුමක් තිබුණා යම් කිසි ගණනකට. මං හිතන්නේ මේ වෙනකොට අපිට ඒ සියලුම මුදල් ලැබිලා නෑ. නමුත් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය පවත්වා ගන්න ඒ ආයතනය සල්ලි හොයාගන්න ඕන. මේ තමයි පළවෙනි වරට ඒ අය කළ බිස්නස් එක.
-
පහුගිය දවස්වල අපි දැක්කා දේශපාලන බලධාරීන්, ඒ වගේම රාජ්‍ය නිලධාරීන් ප්‍රකාශ කළා ඉන්දියාවෙන් ගෙනා නැනෝ තාක්ෂණයෙන් කළ පොහොර ගැන. මේ ඔබ තුමිය ඇතුළු කණ්ඩායම ලබා දුන් ක්‍රමවේදයටම ද මේ පොහොර හදලා තියෙන්නෙ.
ඔයගොල්ල දැක්කා අපි හදලා තියෙන්නෙ පසට දාන ඝණ පොහොරක්. මේකෙ විශේෂත්වය ඒකයි. යූරියාවල නයිට්‍රිජන් සියයට 46ක් තියනවා. අපි මේ හදපු නැනෝ යූරියාවල නයිට්‍රිජන් සියයට 40ක් තියනවා. ගෙනාපු තාක්ෂණය සහ අපේ තාක්ෂණය අතර ලොකු වෙනසක් තියනවා.
ඔබ විමසූ ආනයනික දියර පොහොර ගැන යමක් කියන්න මගේ දැනුමින් දන්නෙ නෑ. ඒකෙ පර්යේෂණ කරලා තියෙන්නෙ වෙන අය. නමුත් වැදගත් වෙන්නෙ සංකල්පය. ඒ ඔස්සේ වෙන වෙන දේවල් හදලා තියනවා. මේ අය සියයට 4ක් නයිට්‍රිජන් තියන දියර පොහොරක් හදලා තියනවා. එතකොට සංකල්පය එකයි. නමුත් මේ තාක්ෂණයම නෙමෙයි. ඒක වැඩිදියුණු කිරීමක් ද කියන එක මට පැහැදිලි නෑ
-
මේ ගෙන්වපු දෙයින් අපට අපට ලබන්න පුලුවන් ප්‍රතිලාභය සහ ඔබ ගොඩනගපු දෙයින් අපට ලබන්න පුලුවන් ප්‍රතිලාභය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද?
ගෙන්වපු දේ සම්බන්ධව කතා කරන්න මා දන්නේ නෑ. නමුත් මේකෙන් ලැබෙන ප්‍රතිලාභය අපි ලංකාවෙ ඉන්න ගොවියොත් එක්ක අත් දැක්කා. පර්යේෂණගාරය තුළ කරපු නිශ්පාදනයක් නෙමෙයි මා ඔබට පෙන්වන්නෙ. අපි ක්ෂේත්‍ර පර්යේෂණ කළා. ඒ වගේම නිශ්පාදනය වැඩිදියුණු කළා. දවසට කිලෝ ග්‍රෑම් 100ක් – 200ක් හදන්න පුලුවන් ප්ලාන්ට් එකක් හැදුවා.
ඒකෙන් පොහොර හදාගෙන රටේ වී පර්යේෂණ ආයතනය අම්පාර කුරුණෑගල මුරුන්කන්වල ගොවි මහත්තුරුත් එක්ක ක්ෂේත්‍ර පර්යේෂණ කළා. ඔවුන් අපට ඔවුන්ගෙ ක්ෂේත්‍ර පරීක්ෂණ ප්‍රතිඵල කිව්වා. මේකෙන් සියයට 25ක් නයිට්‍රිජන් භාවිතය අඩු කරන්න පුලුවන්. අස්වැන්න සියයට 15ක් වැඩි කරන්න පුලුවන්. පොහොරවලට ප්‍රතිචාර නොදක්වන වැලි අධික පසක් වැනි අවස්ථාවකත් මේ පොහොර හොඳට ප්‍රතිචාර දක්වලා තිබුණා.
දැනට අම්පාර දිස්ත්‍රික්කයෙ ගොවි මහත්තුරුන්ට අනුමැතියක් දීලා තියනවා මේ පොහොර පාවිච්චි කරන්න පුලුවන් කියලා.
-
මේ වනවිට ප්‍රශ්නය තියෙන්නේ වී වල විතරක් නෙමෙයි. තේ රබර් පොල් සහ අනෙකුත් එළවළු භෝග වගාවන්වලත් මේ ප්‍රශ්නය තියනවා. ඔබ සොයාගත්ත අලුත් පොහොර අනෙක් වගාවන්වලට යොදාගන්න පුලුවන් කොහොම ද?
අපි තේ වගාවට මේ පොහොරවල ක්ෂේත්‍ර පර්යේෂණ කළා තලවාකැලේ තේ පර්යේෂණායතනයත් එක්ක. ඌව, පහතරට ගාල්ල සහ සබරගමුව තේ වගාවන්වලට මේ පර්යේෂණ කළා. වී වලටත් වඩා මේකෙ යහපත් ප්‍රතිඵල තේ සම්බන්ධව ආවා. නමුත් අවසාන ප්‍රතිඵල අපට ලැබෙන්න තියනවා තේ පර්යේෂණ ආයතනයෙන්. නමුත් මැද දි හම්බවුණු ප්‍රතිඵල සාර්ථකයි. තේවල රසය පවා අපි මැනලා තියනවා. වී වල වැදගත් වෙන්නේ අන්තිමට එන අස්වැන්නෙ ගුණාත්මක භාවය. ගුණාත්මක භාවය වැඩි අස්වැන්නක් ලබා ගන්න මේ පොහොරට හැකි බව අප ඔප්පු කරලා තියෙන්නෙ.
-
මේ වනවිට රටේ පොහොර නිශ්පාදනය වැඩි කිරීමේ බලවත් අවශ්‍යෙතාවයක් පැන නැගිලා තියනවා. අන්න ඒ අවශ්‍යතාවය ඉටු කරන්න වාණිජ මටමින් මේ පොහොර නිශ්පාදනය කිරීමක් වෙනව ද?. ඒක තියෙන්නෙ මොන මට්ටමක ද?.
තවම මේකට ක්‍රියාකාරී සැලැස්මක් නෑ. නමුත් අපට විවිධ පාර්ශවවලින් කියලා තියනවා මේ නැනෝ පොහොර ඊලඟට පාවිච්චි කරනවා කියලා. නමුත් මට ඕන මේ පොහොර ඊලඟට පාවිච්චි කරන ආකාරය ගැන ක්‍රියාකාරී සැලැස්මක්. ක්‍රියාකාරී සැලැස්මක් එක්ක වැඩසටහනක් සැලසුම් වෙනවා නම් මගේ කණ්ඩාය සැදී පැහැදි ඉන්නවා උදව් කරන්න.
-
මේ රටේ තියන අවශ්‍යතාවයත් එක්ක මේ ක්‍රියාවලිය මීට වඩා වේගවත් විය යුතුයි කියලා ඔබ විශ්වාස කරන්නෙ නැද්ද?.
අවශ්‍යතාවයක් එක්ක වේගවත් විය යුතුයි. නමුත් තව තව ප්‍රශ්නත් තියන නිසා…. වසංගතයක අපි ඉන්නෙ. මේ ගතවෙන්නේ මේ පොහොර භාවිතයන් පිළිබඳ තියන ප්‍රතිපත්තිමය ප්‍රශ්න විසඳාගන්න යන කාලය වෙන්න ඇති කියලා මා හිතනවා. වාණිජ පදනමකින් නිශ්පාදන වෙළෙඳපල දක්වා යන මාවතක් තවම විවෘත කරලා නෑ. නමුත් මා ඉතාම ඉවසිලිවන්තව බලාගෙන ඉන්නවා ඒ දවස එනකල්.
ජයවර්ධන පුර විශ්විද්‍යාලයේ උපකුලපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයත් බලන් ඉන්නවා මේ ව්‍යාපෘතිය ඊලඟ අදියරට ගෙනියන්න. නිශ්පාදන ක්‍රියාවලිය අපි හරිත කරලා තියෙන්නේ. නිශ්පාදන ක්‍රියාවලියෙදි ඉස්සරට වඩා බලශක්තිය අඩුයි. වතුර අඩුයි. පරිසර හානිය අඩුයි.
නිශ්පාදනය හරිත වුනාට වැඩක් නෑ නිශ්පාදන ක්‍රියාවලිය පරිසරයට හානි කරනවා නම්. අපි මේ චක්‍රය සම්පූර්ණ කළා.
ඒ විතරක් නෙමෙයි. නැනො අංශු කිව්වාම ජනතාව බයයි. පුංචි අයනෙ. ඒ අයට හම ඇතුළට පෙනහල්ලට යන්න පුලුවන්. ඒ නිසා මේ සැකය නැති කරන්න අපි මානව සෛල එක්ක පර්යේෂණ කරලා තියෙන්නෙ මේ නැනෝ අංශු විස ද නැද්ද කියලා. එම නැනෝ අංශු විස නෑ කියල ඔප්පු කරලා තියෙන්නෙ
-
මේක අපේ රටට යෝධ පිම්මක් පනින්න පුලුවන් දෙයක්. මේ පිම්ම කවද්ද පනින්න පුලුවන්. මේ රටේ විද්‍යාඥයින් නොයෙක් සොයාගැනීම් කරලා තියනවා. මේ කරලා තියන පර්යේෂණවලින් රටක් විදිහට අපි ප්‍රයෝජන අරන් තියනව ද?
ඇත්තටම කියනවා නම් අපි ප්‍රයෝජනයක් ගන්නෙ නෑ. පුදුම හිතෙන තරම් පර්යේෂණ ගොඩක් වෙලා තියනවා. ඒත් අපි ප්‍රයෝජන ගන්නෙ නෑ.
හැම විශ්විද්‍යාලයකම විශිෂ්ට පර්යේෂණ වෙනවා. එක්කො ඒක නවතින්නෙ පර්යේෂණ ප්‍රතිකාවකින්. නැතිනම් නිබන්ධනයකින්. අපේ කාමරයකට ගියොත් ඔයාලට තේරෙයි තියන නිබන්ධන ප්‍රමාණය. ඒ එක් නිබන්ධනයකින් එකක් හරි රටේ නිශ්පාදන ක්‍රියාවලියට දායක වෙනවා නම් මොනතරම් හොඳයි ද?.
ලංකාවෙ තියෙන්න ඕන ඒ සඳහා ව්‍යුහයක්. ප්‍රතිපාදන දුන්නම එතනින් ඒ ගැන සොයා බලලා කරලා ඉස්සරහට ගෙනියන්න වැඩපිළිවෙළක් තියෙන්න ඕන. නැෂනල් රිසර්ච් කවුන්සිල් එක ඒක දැනට ටිකක් කරගෙන යනවා. මටත් ප්‍රයිවට් පබ්ලික් ග්‍රාන්ට් එකක් දීලා තියනවා ආයෝජකයෙක් සොයාගෙන එයත් එක්ක වැඩකරලා මේකෙ නිශ්පාදනය දියුණු කරන්න කියලා.
අන්න ඒ ආකෘතිය ටිකක් දියුණු වෙන්න ඕන. එහෙම කළොත් අපි මේ ලෝකෙ පළවෙනි තැනට යන්න පුලුවන් තරම් අපි පර්යේෂණ කරලා.
ඒත් ඔක්කොම තියෙන්නෙ අපේ රාක්කවල.