අමායා උඩුවැරැල්ල –
ගාසා තීරයේ සිටින පලස්තීනුවන්ට බාධාවකින් තොරව මානුෂීය ආධාර ලැබෙන තුරු සහ ස්ථිර සටන් විරාමයක් සහතික කරන තුරු තුර්කිය, ඊශ්‍රායලය සමඟ සිදු කරන වසරකට ඩොලර් බිලියන 7 ක් පමණ වටිනාකමින් යුත් වෙළඳාම නැවත ආරම්භ නොකරන බව තුර්කි වෙළඳ අමාත්‍යාංශය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
වාර්තා වන පරිදි තුර්කිය වෙළඳ අත්හිටුවීම සිදු කර ඇත්තේ සියලු නිෂ්පාදන ආවරණය වන අයුරින් ය.
එයට ප්‍රතිචාර දැක්වූ ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් ඒකාධිපතියෙකු ලෙස ක්‍රියා කරන බවට චෝදනා කර තිබෙනවා. එමෙන්ම ඔහු තුර්කි ජනතාවගේ සහ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා නොසලකා හරිමින් ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ද නොසලකා හරින බව ඊශ්‍රායලය සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් දේශීය නිෂ්පාදන සහ වෙනත් රටවලින් ආනයනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් තුර්කිය සමඟ වෙළඳාම වෙනුවට විකල්ප සොයා ගැනීමට ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා උපදෙස් දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයේ දැඩි විවේචකයෙකු වන තුර්කිය, ගාසා තීරයේ සාගින්නෙන් පෙළෙන පලස්තීන ජනතාවට ගුවන් යානා මගින් ආධාර කිරීමට ඉඩ නොදීම හේතුවෙන් පසුගිය මාසයේ දී ද ඊශ්‍රායලයට නිෂ්පාදන වර්ග 54 ක් අපනයනය කිරීම සීමා කර තිබුනා.







