දිවයින පුරා පවතින ඩෙංගු රෝග ව්‍යාප්තිය සලකා බලා, ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් සිසුන් ආරක්ෂා කර ගැනීම සඳහා පාසල් නිල ඇඳුමට අමතරව අත් සහ පාද ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවසර ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පවතින සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර ගනු ලැබූ මෙම විශේෂ තීරණය සම්බන්ධයෙන් සියලුම විදුහල්පතිවරුන් දැනුවත් කර ඇති බව අධ්‍යාපන ලේකම් නාලක කළුවැව ප්‍රකාශ කළේය.
මීට අමතරව, රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල් පරිශ්‍රයන් තුළ මේ දිනවල ක්‍රියාත්මක වන මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහන්, දෙමාපියන්ගේ සහ ආදි සිසුන්ගේ මූලිකත්වයෙන් සහ සහභාගිත්වයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස ද විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.
සෞඛ්‍ය අංශ වාර්තාවලට අනුව වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 68,071ක් වාර්තා වී තිබේ.
මේ අතර, දිවයින පුරා හඳුනාගෙන ඇති ඩෙංගු අධි අවදානම් කලාප 60ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්ධන ව්‍යාපෘතියක් හෙට (13) සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි. මෙම ව්‍යාපෘතියට බස්නාහිර පළාතේ පමණක් හඳුනාගෙන ඇති ඩෙංගු අධි අවදානම් කලාප 23ක් ඇතුළත් වන බව ද එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.







