ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු –
කොළඹ නගරයේ දැනට ඉතිරි ව ඇති පැරණිම ගොඩනැඟිලි අතළොස්ස අතරින් එකක් වන ආදිරුප්පු ( ආදුරුප්පු ) වීදියේ ඕලන්ද පල්ලිය ශ්‍රී ලංකාවේ දැනට ආගමික කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනෙන පැරණිම ප්‍රොතෙස්තන්ත්‍ර ( protestant ) දේවස්ථානය ද වෙයි .
වෘකයන්ගේ මිටියාවත වූ බොරළුගොඩ කන්ද
වර්තමානයේ විවේකානන්ද කන්ද නමින් හැඳින්වෙන මෙම දේවස්ථානය පිහිටි භූමිය අතීතයේ දී හඳුන්වා ඇත්තේ “ බොරළුගොඩ කන්ද ” නමිනි . පෘතුගීසීන් විසින් “ වෘකයන්ගේ මිටියාවත” ( The dale of wolves ) යන අර්ථයෙන් මෙම ස්ථානය “ග්වාඩ ලුපේ ” යන්න “ආඩිරිප්පු” ලෙසින් සිංහල ව්‍යවහාරයට පැමිණ වර්තමානයේ “ආදිරිප්පු” බවට පත් වී තිබේ. කෙසේ වෙතත් පැරණි පොතපතෙහි “ආදිරිප්පු” යන්න හුදෙක් මෙම ස්ථානයෙහි වූ දේවස්ථානය හැඳින්වීම සඳහා ම ප්‍රයෝජනය ගෙන ඇති බව පෙනේ . රාජාවලියෙහි “ …. බොරළුගොඩ හින්නේ ආදිරිප්පු පල්ලිය තිබෙන්නේ ය …. ” ලෙසින් දක්වා ඇත්තේ මෙම දේවස්ථානයයි . කෙසේ වෙතත් ඇතැම් රාජාවලි පිටපත්හි මේ සඳහා ආදුරුක්කු , අතුරු , ආදොලොප්පු , ආදෝලොප්පු යන විකෘති ස්වරූපයෙන් ද යොදා ගෙන ඇති බව පෙනේ . කූතෝ ( Couto ) හා ක්වේරෝස් ( Queyrouz ) යන පෘතුගීසී ලේඛකයන් මෙම ස්ථානය හඳුන්වා ඇත්තේ “ පෙද්රෙයිර ” නමිනි . එහි තේරුම “ ගල් වළ ” යන්නයි .
පෘතුගීසීන් විසින් ව්‍යවහාර කළ “ ග්වාඩලුපේ ” යන්න සඳහා එම අර්ථය ම මුල් කොටගෙන ලන්දේසීන් විසින් වුල්ෆෙන්ඩාල් ( Wolvendal ) යන්න භාවිතයට ගන්නා ලදී . ඒ අනුව මෙම දේවස්ථානය “ වුල්ෆෙන්ඩාල් පල්ලිය ” ( Wolvendaa lschs kerk ) නමින් ප්‍රචලිත විය . ඉංග්‍රීසි ජාතිකයන් විසින් ද මෙම ස්ථානය Wolvendaal නමින් ම හඳුන්වන ලදී . කෙසේ වෙතත් සිංහල ව්‍යවහාරයෙහි මෙම දේවස්ථානය “ ආදිරිප්පු පල්ලිය ” නමින් ද ඒ ඉදිරිපසින් පිටකොටුව දක්වා විහිදෙන මාර්ගය “ ආදිරිප්පු ( ආදුරුප්පු ) වීදිය නමින් ද ප්‍රචලිත වී තිබේ .
ලන්දේසීන්ට කලින් ඉදිකළ පල්ලිය

ඕලන්ද රෙපරමාදු සභාව ( Dutch reformed church ) ට අයත් මෙම දේවස්ථානය එක්සත් පෙරදිග ඉන්දීය සමාගම ( De vereenigde ost – Indisch campagni ) මගින් ඉදි කරන ලද්දකි. ඒ 1749 දීය . මෙම වර්ෂය දේවස්ථානයෙහි ප්‍රධාන දොරටුවට ඉහළින් ද සඳහන් කර තිබෙනු දැකිය හැකිය . මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා වසර අටක් ගත වී ඇති අතර ඒ අනුව වැඩ නිම කර ඇත්තේ 1757 දීය . කෙසේ වෙතත් ලන්දේසීන් විසින් මෙම දේවස්ථානය ඉදිකිරීමට පෙරාතුව පෘතුගීසීන් විසින් ද මෙම ස්ථානයෙහි ( දේව මෑණියන්ට කැප කරන ලද ) දේවස්ථානයක් ඉදිකර තිබූ බව සඳහන් වේ. ලන්දේසීන් විසින් කොළඹ කොටුවෙහි බලය අත්පත් කර ගැනීමත් එම දේවස්ථානය ද ලන්දේසීන් යටතට පත් වී තිබේ.
දේවස්ථානය ඉදිකරන සමය වන විට ශ්‍රී ලංකාවේ ඕලන්ද ආණ්ඩුකාරවරයා වූයේ ජුලියස් වැලන්ටයින් ස්ටයින් වෑන් ගොලෙන්ස් ( Julliws valentyn stein van gollennesse 1743 – 1751 ) ය . ඔහුගේ නාමය සිහි වනු පිණිස ඉදිරි බිත්තියෙහි “ JVSVG ” යන අක්ෂර (නමෙහි මුලකුරු ) ද සඳහන් කර තිබේ .

වැඩ නිමවීමෙන් අනතුරුව දේවස්ථානය මහජනයාට කැප කිරීමේ දේව මෙහෙය පවත්වා ඇත්තේ 1757 මාර්තු 06 වෙනි දින දීය . කොළඹ සෙමනේරියේ අධ්යක්ෂ මැතියස් වර්මල්ස්කර්කර් ( Mathias wirmelskircker ) පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ඓතිහාසික දේව මෙහෙයට ජෙරාඩ් පොට්කන් , බර්නාඩ්ස් ඇන්ගල්වර්ඩ් , ජොහැන්නස් ජෝකීම් ෆයිබ්රාන්ඩ්ස් , ජොහැන්නස් ජාකොබ්ස් මේයර් හා පිලිප්පස් මෙල්හෝ යන පියතුමන්ලා ද සහය වී තිබේ . මෙම අවස්ථාවට ජෝන් ගිඩොන් ලෝටන් ( John Gideon loten ) හා ජෑන් ස්කෲදර් ( Jan schrruder ) යන ආණ්ඩුකාරවරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ම සහභාගි වී තිබේ .
මෙම කැපකිරීමේ දේව මෙහෙයේ දී දේශනා කරන ලද බයිබල් පාඨය ලෙස වාර්තා ගත වී ඇත්තේ උත්පත්ති කතාවෙහි 28 : 22 හි “ …. තව ද සිහිවටනයක් මෙන් මා සිට වූ මේ ගල දෙවියන් වහන්සේගේ ගෘහය වන්නේ ය .. (“ Ende dese steen dien ick tot een opgerecht teecken geset hebbe sal een huys godts wesen ”) යන්නයි . මෙම කැප කිරීමේ දේව මෙහෙය පිළිබඳව 1757 වර්ෂයේ රජයේ දිනපොතෙහි (Public diary) ද සඳහන් කර තිබේ .

ධර්මපාල රජුගේ සොහොන් ගල
මෙම දේවස්ථානය ඉදිකිරීමට පෙරාතුව ලන්දේසීන් විසින් පෙරදිග ඉන්දීය සමාගමේ (V.O.C) නිල දේවස්ථානය ලෙස පරිහරණය කළේ පෘතුගීසීන් විසින් කොළඹ කොටුවේ ( වර්තමාන ගෝර්ඩන් උද්‍යාන භූමියේ ) ඉදිකර තිබූ ශාන්ත ෆ්‍රැන්සිස් දේවස්ථානයයි. එහෙත් ආදිරිප්පු පල්ලිය ඉදිකිරීමෙන් අනතුරුව ශාන්ත ෆ්‍රැන්සිස් දේවස්ථානය අත්හැර දැමූ අතර ක්‍රමයෙන් එය නටබුන් බවට පත් වන්නට විය. ඒ අනුව 1813 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් එය කඩා ඉවත් කරන අතර එහි තිබූ සොහොන්ගල් සියල්ල ම ආදිරිප්පු පල්ලියට රැගෙන යන ලදී .
ඒ අතරෙහි වූ පැරණි ම සොහොන්ගල 1607 වර්ෂයට අයත් වේ . මේ හැරුණු විට 1607 දී මියගිය දොන් ජුවන් ධර්මපාල රජුගේ සොහොන්ගල ද ආදිරිප්පු පල්ලියට රැගෙනවිත් ඇති අතර එය 1832 දී එවකට සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීමකට අනුව එම ස්ථානයෙන් ඉවත් කොට කොටුව ශාන්ත පීතර දේවස්ථානයට රැගෙන ගොස් ඇති බව පෙරේරා හා රයිවර්ස් සඳහන් කරයි . ( Reports on the Historical manuscripts commission at wolvendaal – 1939 ). එසේ ම ලන්දේසි හමුදා අණදෙන නිලධාරියෙකු වූ ජෙරාඩ් හල්ෆ්ට් ( Gerrard hulft ) ගේ සොහොන්ගල ද ආදිරිප්පු පල්ලියෙහි තිබී ඇතත් දැන් එය දක්නට නොලැබේ . පසුකාලීනව එම සොහොන්ගල අනෙක් අතට හරවා එය සර් විලියම් කොක්ගේ සොහොන්ගල කෙටීම සඳහා ප්‍රයෝජනයට ගෙන ඇති බවට ද මතයකි .
ජල බඳුන
දැනට මෙම දේවස්ථානයෙහි ඇති බෞතීස්ම කිරීම සඳහා ප්‍රයෝජනයට ගන්නා ජල බඳුන ( Baptisamal fornt ) ද දිගු ඉතිහාසයක් ඇත්තෙකි . කොටුව ශාන්ත ෆ්‍රැන්සිස් දේවස්ථානයෙන් රැගෙන විත් එම බඳුන කැටයම් කළ තෙපා ( Tripod stan ) සහිතය. විශ්කම්භය අඩි දෙකකි . ලන්දේසි බසින් සඳහන් කර ඇති ලේඛනයට අනුව එය රයික්ලොෆ් වෑන් හුන්ස් ( Rijckloff van geons ) ආණ්ඩුකාරවරයා විසින් සිය දියණිය වූ එස්තර් සිලෝනියා වෑන් හුන්ස් ( Rijckloff van geons ) ශුද්ධ බෞතීස්මය ලැබීම නිමිත්තෙන් 1667 ජුනි 17 වැනි දින ප්රදානය කරන ලද්දකි . ඇය උපත ලබා ඇත්තේ ඊට දින තුනකට ඉහත දී එනම් ජූනි 14 වැනි දින දී ය. ලේඛනයේ සඳහන් කර ඇති පරිදී මෙම බෞතීස්ම බඳුනෙහි බර ( වටිනාකම ) රුපි ( Ropy ) 206 ¼ කි . ග්‍රීක කුරුසියක බිම් සැලැස්මකට අනුව ඩොරික් සම්ප්රදායයට ඉදිකර ඇති මෙම දේවස්ථානයෙහි 1000කට අසුන් ගත හැකි වේ . මෙහි බිත්තියක් අඩි 5ක ඝනකමකින් යුක්ත වන අතර විසිතුරු ලෙස ගේබල් ( Gable ) සහිතව නිර්මාණය කර තිබේ . තවද මධ්‍යම ඩෝමයකින් ( Central dome ) හා ගඩොලින් කළ ආරුක්කුවලින් සැදි හරස් අංශ ( Trancept ) දෙකකින් ද සමන්විත වේ .
පිටරටින් ගෙනා ගොඩනැගිලි ද්‍රව්‍ය
මධ්‍යම ඩෝමය මුලින් ම ඉදිකර ඇත්තේ ගඩොලිනි . 1856 දී එල්ල වූ අකුණු පහරක් නිසා මෙම ඩෝමය කඩා වැටී ඇති අතර ඉන් පසුව ඩෝමය දැවයෙන් තනා එහි නිල් පැහැති පතුරුගල් ( Slates ) සෙවිලි කොට තිබේ . වර්තමානයේ මෙහි සෙවිලි කොට ඇත්තේ ලෝහ තහඩුය . ජෙ . එල් . කේ . වෑන් ඩෝට් සඳහන් පරිදි මෙහි මුලින් තිබූ ඩෝමය අටැස් ඝණ්ඨාකාර හැඩයකින් ( Bell shaped octagonal ) යුක්ත වී තිබේ . එය ඊයම් මිශ්‍ර කොට තනා තිබූ අතර ඩෝමය මුදුනෙහි හිස මත ඔටුන්නක් සහිත එක් අතකින් කඩුවක් හා ඊතල හතක් දැරූ ලෝහමය සිංහ රුවක් ( ඕලන්දයේ රාජ්‍ය ලාංජනය ) ද තිබී ඇත . අකුණු සැර වැදීම නිසා මෙම ඩෝමයේ ගඩොලින් කළ කොටස් කැඩී ගොස් ඇති අතර ඊයම් උණු වී බිමට වැගිරී තිබේ . එම ඊයම් එවකට මෙම දේවස්ථානයේ භාරකරු (Sexton) විසින් හොර රහසේ ම මුස්ලිම් වෙළෙඳුන්ට විකුණා ඇති බව ද සඳහන් වේ . ( Wolvendaal Church in Early times JDBU vol . 28 No. 2 – Van dort ).
මෙම දේවස්ථානය ඉදිකිරීම සඳහා කෝට්ටේ නගරයෙහි නටබුන් යොදාගෙන ඇති බවට ද මතයක් පවතී . එහෙත් දේවස්ථානය ඉදිකිරීම සඳහා සහ බිමට ඇතිරීම සඳහා විශාල ගල් පුවරු ඕලන්ද පෙරදිග සමාගමේ නැව් මඟින් රැගෙන එන ලද බවට වාර්තා ඇත. 1749 ජුනි 27 වෙනි ඕලන්ද දේශපාලන රැස්වීම් වාර්තාවට අනුව දේවස්ථානයේ බිමට ඇතිරීම සඳහා ගල් රැගෙන විත් ඇත්තේ කොරමන්ඩල් ප්‍රදේශයෙනි ( Faith of our fathers – S . D. Franciscu ).
කයිමන් දොරකඩ ඝණ්ඨාර කුලුන

( J . D . Palm ) බ්‍රිතාන්‍ය පාලන සමයේ දී රාජ්‍ය අනුග්‍රහයට ලක් වූ මෙම දේවස්ථානය විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා විසින් හඳුන්වන ලද්දේ “ ශ්‍රී ලංකාවේ වෙස්ට් මිනිස්ටර් දේවස්ථානය ” (The westminister Abbey of Ceylon ) ලෙසිනි . මෙහි ඇති විශාල ප්‍රමාණයේ අලංකාර වීදුරු ජනේල ප්රදානය කර ඇත්තේ ද ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිසක් විසිනි . දැනට පිටකොටුව මහ වීදියේ ( Main street ) පැරණි නගර ශාලාව අසල ඇති ඝණ්ඨාර කුලුන මෙම දේවස්ථානයට ද අයත් ඝණ්ඨාර කුලුන ලෙස සැලකේ . බේරේ වැවට ගලා ගිය ශාන්ත ජෝන් ඇළ මාර්ගය හේතුවෙන් අතීතයේ මේ අවට නිරතුරුව ම කිඹුලන් ගැවසුණු බැවින් “ කිඹුල් දොරටුව ” යන අර්ථයෙන් ලන්දේසීන් විසින් මෙම ස්ථානය Kaimaan ‘ s poort යන නමින් හැඳින්වූ අතර එය Kayman’ s Gate ලෙසින් ඉංග්‍රීසියට එක් වී තිබේ . එය “ කයිමන් දොරටුව ” ලෙසින් සිංහල ව්‍යවහරයට එක් වූ අතර මෙම ඝණ්ඨාර කුළුණ ද එනමින් ම ප්‍රචලිත විය. ඉරු දින උදේ සහ හවස දේව මෙහෙයන් පැවැත්වීමට පෙර මෙම ඝණ්ඨාරය තෙවරක් නාද කළ අතර නගර දොරටුව වසා තබන වේලාවන් දැනුම් දීම සදහා ද භාවිතයට ගෙන තිබේ. කෙසේ වෙතත් දේවස්ථානය හා ඝණ්ඨාර කුලුන අතරැති දුර ප්‍රමාණය සලකා බලන කල්හී මෙහි සන්නිවේදන කාර්යය කෙසේ ඉටු වූයේද යන්න ගැටලුවකි .

මෙම දේවස්ථානය අසුරු කොටගෙන 1847 .05.02 වෙනි දින මුල් ම ඉරුදින දහම් පාසල ද ආරම්භ කොට ඇති අතර මේ සඳහා ජෙ.ඩී. පාම් ( J . D . Palm ) පියතුමා සහ කොරනේරිස් ඩික්මන් , ලුවිස් ලීෂිං මූලික වී තිබේ . 1890 දී දේවස්ථානයට යාබදව වුල්ෆෙන්ඩාල් ( වුල්වන්දාල් ) බාලිකා විද්‍යාලය ද ආරම්භ කරන ලදී . මීට සියවස් දෙක හමාරකට පමණ ඉහත දී ආරම්භ වුවද තවමත් සුපුරුදු පරිදි ආගමික මෙහෙයන් ඉටු කෙරෙන මෙම දේවස්ථානය අද පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ද වෙයි .