ශ්‍රීයානි විජේසිංහ –
රස්සාව හරියටම කරන්නට යෑමත් මරණීය කාරණාවකි. අප, රස්සාව හරියට කරන්න ගොස් ඝාතනය වූ උතුම් මිනිසුන්ගේ මතකයන්ගෙන් පිරුණු කාලකණ්නි ඉතිහාසයක් සහිත මිනිසුන්ය. රටේ ඖෂධ ප්‍රතිපත්තිය හැදූ මහාචාර්ය සේනක බිබිලේ ඝාතනය වීම අප මෑත කාලයේ දී කම්පනය කළ දැවැන්තම සිදුවීමය. එතැන් සිට ලොකු කුඩා මිනිස්සු කොපමණ සංඛ්‍යාවක් අවංකව රාජකාරි කරන්නට ගොස් මිය ගියාදැයි අපට සංඛ්‍යාලේඛණ නැත. බහුජාතික සමාගමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට ගිය රේගු අධිකාරී සුජිත් ප්‍රසන්න ඝාතනය වූයේය. හරියට නඩු අසන්නට ගිය සරත් අඹේපිටිය මහාධිකරණ විනිසුරුවරයා ඝාතනය වූයේය. හරියට විගණනය කරන්නට ගිය රජයේ විගණන අධිකාරී ලලිත් අඹන්වල ඇසිඩ් ගැසීමෙන් පසු අන්ත දුක් විඳ මිය ගියේයය. සමහර උන් ජිවිතය බේරාගෙන රටින් පැන ගියහ.
කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලියු.ඩී.රොෂාන් පුෂ්පකුමාරගේ ඝාතනයත් එවැන්නක් දැයි සිතෙන ලෙස මේ වනවිට කරුණු ගොනු වෙමින් ඇත. ඇහෙන ඇහෙන තැන කියැවෙන්නේ මෙම නිලධාරියාගේ යුක්තිසහගත රාජකාරි ප්‍රවේශයේ වැනුම්ය.
ඔහුගේ සමීපම වෘත්තීය සගයන් අතර ප්‍රමුඛයා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණය.
උපුල් රෝහණ සිය ඝාතනය වූ සගයා සම්බන්ධව සංවේදී සටහනක් තබන්නේය. ඒ සටහන මෙසේ උපුටා දක්වමු.
අද හිමිදිරියේම හිතවතෙකුගෙන් ලැබුණු දුරකතන ඇමතුමකින් මගේ හදවත මොහොතක් නතර වූවාසේ මට හැඟුණි.
” මොකක්ද කීවේ”
මා එය නැවතත් ඇහුවේ මට අදහාගත නොහැකි වූ නිසාය. “ගෙදරටම ඇවිල්ලා රොෂාන්ට වෙඩි තියලා. එතනමයි. ambulance එකකටවත් දාගන්න වෙලාවක් තිබිලා නැහැ”
රොෂාන් කුමාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකය. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිසත්කම හඳුනන හොඳ මිනිසෙකි. ආගම දහමට ලැදි නිර්මාංශ ජීවිතයක් ගත කරන එවැනි පුද්ගලයෙකුටවෙඩි තබා ඝාතනය කිරීමේ වුවමනාවක් ඇත්තේ කාටද යන්න උභතෝකෝටික පැනයක් මට පැන නැගුණි .
නමුත් ඔහු සිය රාජකාරිය දේවකාරිය මෙන් අකුරටම කළ රාජ්‍ය නිලධාරියෙකි. මහජන සෞඛ්‍ය වෙනුවෙන් සෑම විටම ඉදිරියටම විත් හඬ අවදි කළ නිලධාරියෙකි. ජනතාවට වස විස කෑමට දිය නොහැකි බව පවසමින් ආහාරපාන පරීක්ෂා කිරීමට අවශ්‍ය රසායනාගාර පහසුකම් ප්‍රමාණවත් නොමැති බව පවසමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ නිරන්තරයෙන්ම ඝට්ටන ඇතිකර ගනිමින් එම ඉල්ලීම් ජනතාවට දිනා දීමට උත්සහ කළ නිලධාරියෙකි
ඔහු නඩු කටයුතුවලට සම්බන්ධ පුද්ගලයෙක් බැවින් ඔහුට යම් යම් බලපෑම් ඇති නොවූ බවට විශ්වාස කළ නොහැකිය.
කරන්දෙනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරීක්ෂකවරයා ලෙසත් දකුණු පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විභාග වෙමින් පවතිනනඩු මෙහෙයවන නිලධාරියා ලෙසත් මොහු මිය යන විට සේවය කළේය.
ඔහුගේ කුඩා පුතු අද හා පුරා කියා පාසල් යන දවසය.
පුතුව පාසල වෙත රැගෙන යාමට කඩිමුඩියේ ඔහුත් ගුරුවරියක් වන ඔහුගේ බිරිඳත් සූදානම් වෙමින් සිටින අතරතුර ගෙදරට පැමිණි නාදුනන තුවක්කු කරුවෙකුගේ වෙඩි පහරකට ලක්ව රොෂාන් මිය ගියේය.
ගියේ අපට දහසකුත් ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට දැන් සිදුව තිබේ . මෙහි ඝාතකයා කවුරුන්ද?, ඝාතනය කළේ කුමක් අරභයාද?, කාගේ වුවමනාවටද?,
හෙට දිනයේදී සමාජයේ පිළිතුරු සෙවීමට මෙවැනි ගැටලු රැසක් ඉතිරි වී ඇත
-උපුල් රෝහණ තැබූ සටහනකි