අපරාධ වැලැක්වීමේ මෙහෙයුම් විශේෂ රාජකාරි සඳහා කොටහේන වෙරළබඩ පොලිස් ස්ථානයට අනුයුක්ත කර සිටි 30 හැවිරිදි විශේෂ කාර්ය බලකා පොලිස් කොස්තාපල් වරයෙක් අද (10) අළුයම එම පොලිස් ස්ථානයේ කාන්තා භට නිවාසයට රිංගා කාන්තා පොලිස් කොස්තාපල්වරියකට බලහත්කාර ලිංගික අතවර කරන්නට යෑමේ දී භට නිවස්නයේ කාන්තා භට පිරිස විසින් පොරබදා ඔහුව අල්ලා මෙල්ලකර අත් අඩංගුවට ගත් පුවතක් වාර්තා වේ.
වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.
මාන්කුලම් විශේෂ කාර්ය බලකා මුලස්ථානයට අනුයුක්තව සේවය කරන 30 හැවිරිදි එස්.ටී.එෆ් කොස්තාපල්වරයෙක් අපරාධ වැළැක්වීමේ මෙහෙයුම් විශේෂ රාජකාරි සඳහා වෙරළබඩ පොලිසියට අනුයුක්ත කර සිට ඇත.
මෙම කොස්තාපල්වරයා ඊයේ රාත්‍රියේ සිට ඇත්තේ බීමත්වය. අලුයම වනවිට හොඳ පදමට මත් වි සිටි ඔහුට සිය ඇස ගැටුනු හැඩති පොලිස් කොස්තාපල්වරියක සොයා යෑමේ අදහසක් පහළ වී තිබේ. සූර් පිට සිය සිත සොයන රසය සොයාගෙන කොස්තාපල් කාන්තා භට නිවස්නයට ඇතුළු වී ඇත.
අනතුරුව නින්දගොස් සිටි අදාල පොලිස් නිලධාරිණියගේ ඇඟට පැන ඇය බලහත්කාරයෙන් වැළඳගෙන ලිංගික අතවර කිරීමට මේ බේබද්දා උත්සාහ කර තිබේ.
එහිදී බියපත් තරුණ කොස්තාපල්වරිය කෑ ගසනවාත් සමග භට නිවස්නයේ සිටි සෙසු නිලධාරිනියන් ද වහා අවදිව පොරබදා කොස්තාපල්ව බිම පෙරළාදමා මෙල්ල කර ඇත.
පසුව එම ස්ථානයට පැමිණි වෙරළබඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරි පිරිසට මෙම තැනැත්තා භාර දී තිබේ.
කාන්තා භට නිවාසයකට බීමතින් අයුතු ලෙස ඇතුළුවී කාන්තාවකට ලිංගික අතවර සිදුකිරීමට තැත් කිරීමේ වරදට මෙම කොස්තාපල් මේ වනවිට ඉන්නේ පොලිස් අඩංගුවේය. වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.