දිගින් දිගටම අසමත් වීම හේතුවෙන් චෝදනා ලද ශ්‍රී ලංකා ජාතික දඟපන්දු පුහුණුකරු පියල් විජේතුංග ගේ කොන්ත්‍රාත්තුව නිමා කර ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිත්‍ය ජාතික දඟපන්දු පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රෙග් හොවාඩ් පත් කරගෙන තිබේ.
ක්‍රෙග් හොවාඩ් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් වෙතින් සුදුසුකම් ලත් තුන්වන මට්ටමේ පුහුණුකරුවෙකි. හොවාඩ් ශ්‍රී ලංකා ජාතික දඟපන්දු පුහුණුකරු වීමට පෙර නවසීලන්ත වයිට් ෆර්න්ස් කණ්ඩායමේ සහ වික්ටෝරියානු පිරිමි පළමු පෙළ කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු විය.
තවද ක්‍රේග් හොවාර්ඩ් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් උපදේශක පුහුණුකරුවෙක් ලෙස වසර 12 ක සේවා කාලයක් පවත්වා ඇත. ඔහු ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායම සහ 19 න් පහළ කණ්ඩායම් සඳහා පිරිමි සහ කාන්තා ජාත්‍යාන්තර සංචාරවල සහය පුහුණුකරු ලෙස ද කටයුතු කර ඇත.
ක්‍රේග් 2011 සිට 2015 දක්වා වසර හතරක කාලයක් තුළ දකුණු ඕස්ට්‍රේලියානු රෙඩ්බැක්ස් සහ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් හි දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබේ.
ඔහුට වසර දෙකක කොන්ත්‍රාත්තුවක් පවරා ඇති අතර එය 2024 පෙබරවාරි 1 වන දින කොන්ත්‍රාත් කාලය ආරම්භ විය. දැනට පැවැත්වෙන ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා සංචාරයේ එක්දින තරගාවලියෙන් ඔහු ජාතික කණ්ඩායමේ රාජකාරි භාරගනු ඇත.