ඉඳුනිල් කහටපිටිය –
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ ඔහුගේ විදේශ අමාත්‍යවරයා රැගත් හෙලිකොප්ටරයක් දැඩි මීදුමකින් කඳුකරය තරණය කරමින් සිටියදී අද (19) කඩා වැටුණු බව ඉරාන නිලධාරියෙක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඊබ්‍රහීම් රයිසි සම්බන්ධව අපට අතිශයින් සමීප මතකයක් තිබේ. උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නිල වශයෙන් ජාතියට තිළිණ කිරීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා සති තුනකට පෙර, එනනම් අප්‍රේල් මස 24 වැනිදා රයිසි මත්තලින් ලංකාවට පැමිණියේය. ජනාධිපතිවරයා සමග ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වූයේය. රටේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කොන්දේසි විරහිතව සහය පල කිරීමට සපථ විය.

එමෙන්ම ඔහු බටහිර බලවතුන්ට ඍජුව ප්‍රතිචාර දැක්වූ පෞරුෂවත් ලෝක නායකයෙක් වූයේය. ඇමරිකාව ඇතුළු බටහිර ආවරණය යටතේ එම කඳවුරේ නියෝජනයක් ලෙස කටයුතු කරන ඊශ්‍රයාලයට පසුගිය අප්‍රේල් 15 වැනිදා ඉරානය ඩ්‍රෝන වර්ෂාවක් බඳු ප්‍රහාරයක් එල්ල කරන්නේ ලෝකයම තිගස්වමිනි.
සිරියාවේ ඩමස්කස් අගනුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල කළ ප්‍රහාරයෙන් මිය ගිය ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ විදේශීය ශාඛාව වන කුඩ්ස් බළකායේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරි බ්‍රිගේඩියර් ජෙනරල් මොහොමඩ් රීසා සහේඩි ඇතුළු 13 දෙනෙක් ඝාතනය කිරීමට පිළිතුරු ලෙස මෙම ප්‍රහාරය එල්ල කළේය. මේ පසුබිමේ දී ඉරාන ජනාධිපතිවරයා ලෝකයේ දැඩිව අවධානය දිනාගත් නායකයෙක් වූයේය.
රොයිටර් පුවත් සේවය වර්තා කරන්නේ මේ වනවිට ගලවා ගැනීමෙ කණ්ඩායම් සිද්ධිය වූ ස්ථානයට යමින් සිටින බවය.
ඉරානයේ අසර්බයිජාන් දේශසීමාව වෙත ගොස් ආපසු එන අතරතුර සිදු වූ හෙලිකොප්ටර් අනතුරෙන් පසු රයිසි සහ විදේශ අමාත්‍ය හොසේන් අමිරබ්ඩොල්ලාහියන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති බව ඉරණයේ අභ්‍යන්තර තොරතුරු අනුව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන Qiz-Qalaisi වේල්ල විවෘත කිරීම සඳහා සහභාගීවීමට රයිසි අසර්බයිජාන දේශ සීමාවට ගොස් තිබේ.

“අපි තවමත් බලාපොරොත්තුවෙන් සිටිනවා. නමුත් කඩාවැටුණු ස්ථානයෙන් ලැබෙන තොරතුරු ඉතා යහපත් නැ,” නිර්නාමික කොන්දේසිය මත සිද්ධිය ගැන රොයිටර් වෙත නිලධාරියෙක් පවසා ඇත.
අයහපත් කාලගුණය ගලවා ගැනීමේ ප්රයත්නයන් සංකීර්ණ කරමින් සිටි බව රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය IRNA වාර්තා කර තිබිණි. ඉරාන හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා හමුදාවේ සහ විප්ලවවාදී ආරක්ෂක බළකායේ සියලු සම්පත් සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා යොදා ගන්නා ලෙස නියෝග කර තිබේ.
රට පුරා රයිසි වෙනුවෙන් යාඥා පවත්වන බව පෙන්වීමට රාජ්‍ය රූපවාහිනිය සිය නිත්‍ය වැඩසටහන් සියල්ල නවතා දැඩි මීදුමක කඳුකර ප්‍රදේශයේ පා ගමනින් යොදවා ඇති ගලවා ගැනීමේ කණ්ඩායම් සජීවීව ආවරණය කරමින් ඇත.
ගලවා ගැනීමේ කණ්ඩායම් ඉරාන වේලාවෙන් අද සවස් වන විට අනතුර සිදුවූ ස්ථානයට ළඟා වනු ඇතැයි අපේක්ෂා කළත් මේ වනවිට ඉරාණයට අඳුර වැටී තිබීමෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් ඉතාම සංකීර්ණ වී ඇත. මීට ස්වල්ප වෙලාවකට පෙර හදිසි ඉරාණ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා තිබිණි.
63 හැවිරිදි රයිසි 2021 දී ජනාධිපති ලෙස තේරී පත් වූයේය. අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අහමඩ් වහිඩි ඉරාණ රාජ්‍ය රූපවාහිනියට පමණක් පැවසුවේ හෙලිකොප්ටර් යානයක් සිද්ධියෙන් අතුරුදහන් වී ඇති බවත්, බලධාරීන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවෙන් සිටින බවත්ය









