සියල්ලන් සිතුවේ අවසන් මහා තරගයට නවසීලන්තය පරදා එංගලන්තය සුදුසුකම් ලබා ගනු ඇති බවය. එංගලන්ත කණ්ඩායම 2021 විස්සයි 20 තරගාවලියේදී දැක්වූ දස්කම් ඒ තරම්ම ප්‍රබල වූයේය.
එහෙත් ඊයේ (10) පැවති අවසන් පූර්ව වටයේ පළමු තරගයෙන් එංගලන්තය පරදා නවසීලන්තය කඩුළු 05ක විශිෂ්ට ජයක් සහිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේය.
කාසියේ වාසිය දිනුවේ නවීලන්ත කණ්ඩායමය. ඔවුහු මුලින්ම පන්දු රැකීම තේරුවහ. පන්දුවට මුලින් පහර දුන් එංගන්ත කණ්ඩාය වාර 20 තුළ දී කඩුළු 04ක් බිඳ වැටී ලකුණු 166ක් රැස් කළහ.
මොයින් අලි විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළේය . ඔහු නොදැවී ලකුණු 51ක් ලබා ගත්තේ පන්දු 37කට මුහුණ දෙමිනි. හතරේ පහර තුනක් සහ හයේ පහර දෙකක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය. ආරම්භක පිතිකරු ජොස් බට්ලර් පන්දු 24ක දී ලකුණු 29ක් රැස් කළේය. ඩේවිඩ් මාලන් පන්දු 30ක දී ලකුණු 41ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේ දී ටිම් සෝති, ඉෂ් සෝදි, අඩම් මිල්නේ සහ ජේම්ස් නීශම් කඩුල්ල බැගින් ලබා ගත්හ.
නවසීලන්තයට ලැබී තිබුණේ ලකුණු 167ක ඉලක්කයකි.
ආරම්භක පිතිකරුවන් වූයේ මාර්ටින් ගුප්ටිල්ල හා ඩැරල් මිචෙල්ය. මුළු ලකුණු සංඛ්‍යාව 04ක් වී තිබිය දී ආරම්භක පිතිකරු ගුප්ටිල් දැවී ගියේය. දෙවන කඩුල්ල ලකුණු 13 දී දැවී ගියේය. නායක කේන් විලියම්ස් ලකුණු 05කට දැවී ගියේ පන්දු 11කට මුහුණ දෙමිනි. තරගය මුලුමනින්ම නවසීලන්තයෙන් ගිලිහී යනු ඇතැයි සිතෙන පීඩාවකට කණ්ඩායම පත්වුණේය.
එහෙත් එක් අන්තයක් රැකගෙන ඩැරල් මිචෙල් පීඩනයක් රහිතව පන්දුවට පහර දුන්නේය. තුන්වන කඩුල්ල සඳහා ඉතා දකිම පදනමක් නිර්මාණය විය. ඒ කඩුලු රකින ක්‍රීඩක ඩෙවොන් කොන්වේ සහ ඩැරල් අතරය. ලකුණු 82ක සම්බන්ධතාවයක් ගොඩනැගෙද්දී 13 වැනි පන්දු ඕවරයේ 2 පන්දුවේ දී ඩෙවෝන් ලකුණු 46කට දැවී ගියේය. ඔහු පන්දු 38ක් ක්‍රීඩා කර තිබිණි. හතරේ පහර 05ක් සහ එක් හයේ පහරක් එල්ල කර තිබිණි. ජයග්‍රහාහී පදනම නිර්මාණය කළේ ඒ සම්බන්ධතාවය ය. ලකුණු 95 දී තුන්වන කඩුල්ල දැවී ගියේය.
එහෙත් යළිත් තරගය එංගලන්තය පසට දෝලනය විනි. සිව්වන කඩුල්ල ලෙස ලකුණු 2ක් ලබා සිටිය දී ග්ලෙන් පිලිප්ස් දැවී ගියේය. පන්දු ඕවර 15.1 දී ලකුණු 107කට කඩුළු 04ක් බිඳ වැටී තිබිණි.
අනතුරුව පිටියට පැමිණි ජේම්ස් නීෂාම් හා ඩැරල් මිචෙල් සමග එක් වී අවසාන ස්ථාවර පදනම ගොඩනැගුවේය. නීෂාම් පන්දු 11ක දී ලකුණු 27ක් රැස් කළේය. ඒ හයේ පහරක් 03ක් සහ හතරේ පහර එකක් සමගිනි. 17 වැනි ඕවරයේ අවසන් පන්දුවෙන් ඔහු දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 147කි.
නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූයේ එක් විශිෂ්ට ඉනිමකි. ඒ ඩැරල් මිචෙල්ගේ ය. ඩැරල් එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් පන්දු 48ක දී නොදැවී ලකුණු 73ක් ලබා ගත්තේය.
එක් පන්දු ඕවරයක් ඉතිරිව තිබිය දී නවසීලන්තය කඩුළු 05ක ජයක් වාර්තා කළේය.