ආසියානු කුසලාන තරගාවලියේ හැමදාම ආකර්ෂණීයම තරගයක් වන ඉන්දියාව සහ පකිස්ථානය අරත පැවැත්වුන සුපිරි වටයේ දෙවැනි තරගය පකිස්ථානයට කඩුළු 05ක තියුණු ජයක් සහිතව ඊයේ (04) නිමාවට පත් විය.
මෙම උණුසුම් තරගය ඩුබායිහි දී පැවැත්වුනේ 25000කට අධික ප්රේක්ෂක සහභාගිත්වයෙනි.
කාසියේ වාසිය දිනාගත් පකිස්ථානු කණ්ඩායම ඉන්දීය ක්රීඩකයන්ට පන්දුවට පහර දීමට ආරාධනා කළේය.
පන්දු ඕවර විස්ස තුළ දී ඉන්දියානු කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 181ක් ලබා ගත්තේය. අවසන් ඕවරයේ අවසන් පන්දු දෙක තුළ පකිස්ථානු ක්රීඩක ෆකාර් සමාන් ගේ හිතා ගත නොහැකි දුර්වල පන්දු රැකීම හමුවේ ඉන්දියානු කණ්ඩායමට කඩුල්ලක් අහිමි වීමේ අවදානම නැතිවූවා පමණක් නොව, ලකුණු 08ක් ද ලබා ගත හැකි විය.
ඉන්දියාව වෙනුවන් විරාට් කොලි පන්දු 44ක් තුළ මනරම් ලකුණු 60ක් ලැබුවේය.
නායක රෝහිත් ෂර්මා පන්දු 16ක දී ලකුණු 28ක්, කේ.එල් රාහුල් පන්දු 20ක දී ලකුණු 28ක් ලැබීය. හර්දික් පාණ්ඩ්යා ලකුණු නොලබා දැවී ගියේය.
පකිස්ථානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවිම නිරත වූ ශෂාබ් ඛාන් පන්දු ඕවර 04 තුළ ලකුණු 31කට කඩුළු 02ක් ලැබීය. නසීම් ෂා, මොහමඩ් හස්නයින්, හැරිස් රවුෆ්, මොහමඩ් නවාස් කඩුල්ල බැගින් බිඳහෙලුවේය. විරාට් කෝලි දුවද්දී දැවී යෑමකට හසුවිය.
ලකුණු 182ක ඉලක්කයක් කරා යෑමට පකිස්ථාන කණ්ඩායම පිටියට පැමිණියේය. ආරම්භක පිතිකරු යුවල වූයේ බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන්ය.
බාබර් අසාම් ලකුණු 14කට දැවී ගියේය. විශිෂ්ට පිතිකරණයක නිරත වූ මොහොමඩ් රිස්වාන් ලකුණු 71ක් ලැබුවේය. පන්දු 51ක් තුළ ඔහු ලැබූ ලකුණු 71කට හතරේ පහර 6ක් සහ හයේ පහර දෙකක් ඇතුළත් විය.
මොහොමඩ් නවාස් ලකුණු 42ක් ලැබුවේය. ඒ පන්දු 20ක් තුළය. ඊට හතරේ පහර 6ක් සහ හයේ පහර දෙකක් ඇතුළත් විය.
කෙසේ වෙතත් මේ තරගය පුරාම දෙපිලෙහිම දුර්වල පන්දු රැකීම් කැපි පෙනුනි. පීඩනයක් එල්ල කරමින් නවක ඉන්දීය පා දඟ පන්දු යවන ක්රීඩක රවී බිෂ්නෝයි විසින් තරගයේ අවසන් අදියර සිය පාලනයට නතු කරනගෙන පන්දු යවමින් සිටි අවස්ථාවේ දී අශ්දීප් සිං විසින් අතහැර දැමූ අසීෆ් අලිගේ උඩ පන්දුව ඉන්දියාවට දැවැන්ත පහරක් වන අයුරු දැක ගත හැකි විය. එතරම්ම පහසු උඩ පන්දුවක් අත්හැරෙන්නේ කෙසේ දැයි වටහාගත නොහැකි වූ පිටියේ ක්රීඩකයෝ අන්දමන්ද වූහ.
අසීෆ් අලි පන්දු 8ක දී ලකුණු 16ක් ලැබුවේය. ඔහු දැවී යන්නේ 19 වැනි ඕවරයේ හතරවන පන්දුවේ දී ජයග්රහණයට එක් ලකුණක් ඉතිරිව තිබියදී ය.
පාකිස්ථානය පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ජයග්රාහී ඉලක්කය පසුකළේය.
ආසියානු කුසලාන තරගාවලියේ තීරණාත්මක මීළඟ තරගය ලබන අඟහරුවාදා ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන්නේය.