ශ්‍රියානි විජේසිංහ –
විෂ ශරීරගතවී වර්ෂයකට රෝහල් ගතකරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 70000- 80000 අතර වෙන බවත් මින් 20000ක් පමණ කුඩා දරුවන් බවත් කොළඹ ජාතික රෝහලේ විෂ තොරතුරු ඒකකයේ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන සඳහන් කරයි.
විෂ ද්‍රව්‍ය වැඩි වශයෙන්ම පවතිනුයේ නිවස තුළ බවත් මුළුතැන්ගෙය, නානකාමරය, හා රූපලාවන්‍ය ආලේපන පවතින ස්ථානයන් මෙම විෂ තැන්පත්ව ඇති ස්ථාන ලෙස හදුනාගෙන ඇති බවත් විශේෂඥවරයා පෙන්වාදේ.
විෂය වීම් හේතුවෙන් රෝහල් ගත කරන පුද්ගලයින්ගෙන් 1000ක් දෙනා වසරකට මරණයට පත්වෙන බවත් ඇතැම් අවස්ථාවන් වලදී ශරීර ගත වු විෂ ද්‍රව්‍යයට ලබා දෙන ප්‍රතිඖෂධ වෙනුවෙන් එක් පුද්ගලයෙකුට කෝටි 3ක පමණ මුදලක් වැයවන බවත් හෙතෙම පෙන්වාදේ.
මේ සියලුම වැය දැරීමට සිදුවන්නේ මහජනතාවට බව පෙන්වා දෙන වෛද්‍ය ජයවර්ධන වැඩිදුරටත් පවසා සිටිනුයේ සියලුම විෂවීම් වලක්වා ගත හැකි ඒවා බවයි.
විශේෂයෙන්ම මුළුතැන්ගෙයි භාජන පිරිසිදු කිරීම සඳහා භාවිත කරන පිරිසිදුකාරක දියරයන්, රෙදි සේදීම සඳහා භාවිත කරන සේදුම්කාරක කුඩු, බිම පිරිසිදු කිරීමට භාවිත කරන දියරයන්, මෙන්ම නිවසේ වැඩිහිටියන් භාවිත කරන ඖෂධ වර්ග මෙසේ කුඩා දරුවන් නොදැනුවත්කම හේතුවෙන් පානය කිරිමට පෙළඹී සිටින බවද විශේෂඥ වෛද්‍යවරයා පවසා සිටියි.