දිනසේන රතුගමගේ –
ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට බලහත්කාරයෙන් පැමිණීම නතර කිරීම සදහා ඉන්දීය නිලධාරීන්ට මාසයක කාලයක් ලබා දෙන බව යාපනයේ ධීවර සංගම් නියෝජිතයින් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත දැනුම් දී තිබේ.
මේ මාසයක කාලය තුළ නිසි ප්‍රායෝගික පිළිතුරක් නොලැබුනහොත් නොවුවහොත් මේ සම්බන්ධයෙන් උතුරේ ධීවර ප්‍රජාවම දැඩි ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවත් එය දෙරට අතර යහපත් තත්ත්වයක් ඇති නොකරනු ඇති බවත් ධීවර සංගම් ඉන්දිය නියෝජය මහ කොමසාරිස් කාර්යාලයට දන්වා ඇත.
මෙම දැන්වීම කිරීම සඳහා ඊයේ (01) ධීවරයින් සංවිධානාත්මකව එම කාර්යාලය අභයසට පැමිණ පැය කීපයක උද්ඝෝෂණයක් කර සිය විරෝධතාවය ද ප්‍රකාශ කර තිබේ.
පසුව මේ පිරිස පළාතේ නාවික හමුදා නිලධාරීන් හමු වී තම ඉල්ලිම් ඇතුළත් ලිපියක් බාර දෙමින් නාවික හමුදා නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ ඉන්දීය නිලධාරීන් එරට ධීවරයින් ගේ පැමිණීම නතර නොකරන්නේ නම් වහාම නාවික හමුදාව මැදිහත් වී උතුරු මුහුදට පැමිණෙන සියලු ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.
ඉන්දීය ධීවර යාත්‍රා දුටු විට නාවික හමුදාව විවිධ උපක්‍රම භාවිත කරමින් ඔවුන්ව ආපසු ඉන්දීය මුහුදු සීමාව දක්වා පලවා හරින ක්‍රමය ඉතා අසාර්ථක නිසා පැමිණෙන සියලුම ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඇත. ඉන්දීය ධීවරයින්ගේ ආක්‍රමණ අඩු කර ගත හැක්කේ ඒ මගින් පමණක් බවද යාපනයේ ධීවර සංගම් නියෝජිතයින් නාවික හමුදා නිලධාරීන්ට පෙන්වා දී තිබේ.







