දිනසේන රතුගමගේ –
පිලිස්සුම් තුවාල නිසා මියගිය යාපනයේ වඩමරච්චි නැගෙනහිර පළාතේ ඊ.පී.ඩී.පී. පක්ෂ සංවිධායකවරයාගේ මරණය සම්බන්ධයෙන් කාන්තාවක් මරදන්කේණී පොලීසිය විසින් ඊයේ ( 3 ) අත් අඩංගුවට ගෙන තිබේ.
සරවනභවනන්දම් සිවකුමාර් නැමති 44 හැවිරිදි මේ පුද්ගලයා යාපනයේ වත්තිරායන් ප්‍රදේශයේ පාලු ස්ථානයක වැටී සිටියදී ප්‍රදේශවාසීන් පිරිසක් විසින් යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු 1 දා මියගොස් තිබුණි.
මරණය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ ඔහුගේ සිරුරට තෙල් වර්ගයක් දමා කිසියම් කෙනෙකු විසින් ගිනි තබා ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ මරදන්කේණී පොලීසිය සැකපිට කාන්තවක් අත් අඩංගුවට ගෙන තිබේ.
එම කාන්තාව හා මේ පුද්ගලයා අතර සමීප සබඳතාවයක් තිබී ඇති අතර කුමන හෝ හේතුවක් මත ඇය විසින් මේ පුද්ගලයාට ගිනි තබන්නට ඇති බවත් ඇවිලුණු ගිනි ජාලා මැද ඔහු එම ස්ථානයෙන් පලා විත් බිම පෙරළී ගින්න නිවා ගනිද්දී ඔහුට සිහිය නැති වන්නට ඇති බවත් පොලීසිය විශ්වාස කරයි.
අත් අඩංගුවට ගත් කාන්තාව පේදුරුතුඩුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මරදන්කේණී පොලීසිය පියවර ගෙන තිබේ.









