රට ඇත්තේ අප හිතනවාට වඩා අර්බුදයකය. ප්‍රමාණිකයින් කියන කිසිවක් නොඅසා ජනාධිපති දකින්නට ගිය කාබනික හීනය පහුගිය මහ කන්නයේ ඇස්වැන්න විනාස කළේය. අස්වැන්න නෙලාගත් පසු රටට ලැබෙන මාස තුනක් සහල් අතිරික්තය මේ මහ කන්නයෙන් ලැබුණේ නැත. යලත් අනතුරේය. තවමත් පොහොර නැත. ගොවීන්ට කුඹුරු සකස් කරගැනීමට යන්ත්‍ර සූත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන නැත. මේ සියල්ල අතරේ අවසන් බලාපොරොත්තුවක් ලෙස තීරණාත්මකව ජනතාව වගාව සඳහා පෙළඹවීමේ වැඩපිළිවෙළක් අගමැති නිර්දේශ කරයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ අද සිට ප්‍රායෝගික වී සිටී. “අඩුම ගානේ තමන්ගේ ආහාර වේලේ කොටසක්වත් තමන්ගේ ගෙවත්තේ සූදානම් කරගත යුතුයි…“ ඉදිරියට එන්නට නියමිත අනතුරු ගැන එසේ කියන්නේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වාය. තව මාස දෙකකින් රටට අත්වන ඉරණමින් ගලවා ගන්නට පිළියම් සොයන තාක්ෂණික බලමුලුවේ ප්‍රධානියාවන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා සමග සාකච්ඡාවක යෙදුනෙමු. මේ ඒ සාකච්ඡාවයි.
ප්‍රශ්නය – අගමැතිවරයා වගා සංග්‍රාමයක් ගැන කියනවා… මොකක්ද මේ දේශීය වගා සංග්‍රාමය ….?
පිළිතුර – රට තුළ මේ වෙනකොට පැන නැගී ඇති අර්බුද හමුවේ ආහාර හිඟයකට යාම වලක්වා ගැනීමේ මූලික වගකීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් කළ යුතු කාර්යභාරය සැලකිල්ලට ගනිමින් දේශීය වගා සංග්‍රාමයක් ආරම්භ කිරීමට සැලසුම් කරලා තියනවා ඒ තමයි මේ මොහොතේ අපේ එකම අරමුණයි.
ප්‍රශ්නය – මේ සංග්‍රාමයක් වචනයට පමණක් සීමා වෙයි ද..?
පිළිතුර – නැහැ… එහි පළමු අදියර අපි හෙට සිටම ආරම්භ කරනවා. රටේ ජනතාව වගාවට යොමු කිරීමට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ඒ ආශ්‍රිතව ඇති ආයතන 267 ත් එහි නිලධාරීනුත් ප්‍රායෝගිකව මේ අරමුණ තුළ පිහිටුවිය යුතුයි. ඔවුන් වගාවට යොමු කළ යුතුයි.
ඒ සඳහා අද ( 25) සිට නව වැඩසටහන් ආරම්භ කෙරෙනවා. රට පුරා සියලුම කෘෂිකර්ම ආයතනවල නිලධාරීන් මැදිහත්ව ඒ ඒ ආයතන මට්ටමේ ඇති බෝග බීජ පැළෑටි දඬු වැල් ආදී සියල්ල හුවමාරු කරගනිමින් තම තමන්ගේ ආයතන මට්ටමින් වගාව ආරම්භ කිරීමට වශ්‍ය කටයුතු සලසා දී තිබෙනවා.
ඒ සඳහා සියලු උපදෙස්ද ආයතන මට්ටමින් හුවමාරු කර ගැනීමට හැකි පසුබිමක් අපි සකස් කර තිබෙන වා.
ප්‍රශ්නය – මේ කර්තව්‍ය රටේ ජනතාව අතරට යන්නේ කවදාද..?
පිළිතුර – තව සති දෙකකට මෙපිට රටේ සියලු ජනතාව ඒකරාශි කරගනිමින් දේශීය බෝග වගාව ගෙවතු වගාව ආරම්භ කිරීමට අවශ්‍ය සියලු උපදෙස් මෙහෙයවීම් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් දිස්ත්‍රික් කෘෂි අධ්‍යක්ෂකවරු පලාත් අධ්‍යක්ෂකවරු මැදිහත්වීමෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ප්‍රශ්නය – එය සැලසුමක් පමණක්ම වෙයිද..?
පිළිතුර – හැම දෙයක්ම සෘණාත්මකව බලන්න එපා. එය සැලසුමක් පමණක් වුවහොත් රටේ ජනතාවට ආහාර හිඟයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මිනිස්සුන්ට හාමත් වෙන්න වෙනවා. මේ වෙලාවේ ප්‍රධානතම අභියෝගය රටේ ජනතාවට ආහාර සැපයීම. පොදුවේ මෙතෙක් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ ඔස්සේ එය කළ නොහැකි නම් ඊට විකල්පයක් වශයෙන් ඒ ඒ පවුලට අවශ්‍ය පරිදි තමන්ගේ ආහාර වේල තමන්ගේ නිවස ආශ්‍රිතවම වගා කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වගකීම ලෙස මා දකිනවා.
ප්‍රශ්නය – දැනට උද්ගතව ඇති ප්‍රශ්න හමුවේ ආහාර අර්බුදයෙන් ගොඩඒමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විතරක් වැඩ කරලා පුලුවන් ද..?
පිළිතුර – කොහෙත්ම බැහැ . මේ සඳහා සමස්ත ජනතාව සියලුම අමාත්‍යංශයන් සියලුම නිලධාරීන් ඒකරාශි විය යුතුයි. දැනටමත් සුසිල් ප්‍රේම ජයන්ත අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබෙනවා සියලුම පාසල් මේ සඳහා දායක කර ගැනීමට කටයුතු යොදන බව.
අගමැති රනිල් වික්‍රමසිංහ සමග කළ සාකච්ඡාවේ දී ඔහු ගේ අදහස වූයේ දේශීය ආහාර සුලභතාවය වැඩිකිරීම පිණිස ත්‍රිවිධ හමුදාව සිවිල් ආරක්ෂක අංශ මැදිහත් කර ගනිමින් ඔවුන් යොදවා වගා කලහැකි සියලුම ඉඩම් වල වගාවන් ඇති කිරීමට කටයුතු කරන ලෙස යි.
ප්‍රශ්නය – වගාව සඳහා නිශ්චිත පිළිවෙළක් තිබෙනවා. අවශ්‍ය දැනුම සහාය ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සූදානම් ද?
පිළිතුර – මේ සියලුම අදහස් ඒකරාශී කරගනිමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපගේ වගකීම වගාවන්ට අවශ්‍ය සියලුම තාක්ෂණික දැනුම වගාවන් පිළිබඳ නවීන දැනුම පොහොර භාවිතය කෘමි පාලනය සියලුම වගා කරුවන් වෙත ලබා දීමයි.
සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා වැඩසටහන් මේ වනවිටත් සැලසුම් කොට තිබෙනවා. ග්‍රාමීය මට්ටමින් වැඩිහිටි සමිති සුභසාධන සමිති ඇතුළු සියලුම සමිති ඔස්සේ කෘෂි දැනුම ලබාදීමටත් බීජ හා පැළ හුවමාරුව කර ගත හැක්කේ කෙසේද යන්න කියා දෙන්න මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමටත් අප සූදානම්.
ප්‍රශ්නය – මේ හරහා පැහැදිලි වන්නේ ඉදිරියේදී දැඩි ආහාර අර්බුදයක් ඇති වන බව නේද?
පිළිතුර – සාමාන්‍යයෙන් මහකන්නයේදී හෙක්ටයාර් ලක්ෂ අටක් පමණ වී වගාව සිදු කරනවා. මහ කන්නයේදී වී අස්වැන්න හෙක්ටයාර එකකට මෙට්‍රික් ටොන් හතරයි දශම හතරක්.
නමුත් පසුගිය මහ කන්නයේ දී අපට නොසිතූවිරූ ප්‍රශ්න රැසක් හමුවේ අස්වැන්න අඩුවීමක් දක්නට ලැබුණා. වෙනත් සෑම මහ කන්නෙ එකම ඉදිරි මාස තුනක සූදානමක් සහිතව වී අස්වැන්න ගබඩා කර තැබීමේ හැකියාවක් ඉකුත් වසර වල රඳවා ගන්න හැකියාව තිබුණා. මෙවර මහ කන්නෙ අනතුරුව එවැනි ගබඩා කිරීමක් කොට තබා ගැනීම සඳහා ප්‍රමාණවත් වී තොග අප සතුව නැහැ.
එහෙයින් අපගේ එකම බලාපොරොත්තුව යල කන්නේ ඉතා හොඳ අස්වැන්නක් ලබා ගැනීමයි.
ප්‍රශ්නය – යල වගාවට අවශ්‍ය ජලය ප්‍රමාණවත් පරිදි ලැබුණත් කලට වේලාවට පොහොර නොලැබුණු බවට ගොවීන් චෝදනා කරනවා. එවැනි තත්ත්වයක් හමුවේ යල අස්වැන්න බලාපොරොත්තු නොවන ලෙසයි ගොවීන් කියා සිටින්නේ?.
පිළිතුර – මෙහි සත්‍යතාවයක් තිබෙනවා. නිසි කලට පොහොර ගෙන ඒම ප්‍රමාද වීමක් නැහැයි කියන්න බැහැ. නමුත් හින්ද අමරවීර අමාත්‍යවරයා කියා සිටියා හැකි ඉක්මනින් ඉන්දියානු ණය සහනාධාර යටතේ පොහොර ගෙන්වා දෙන බව.
ප්‍රශ්නය – හැකි ඉක්මනින් කියන එක දැන් ප්‍රායෝගික ද? වගා කාලය පසු වී පොහොර ගෙන ගෙනවා නම් ඒ පොහොරවලින් වගාවට ඇති වැඩේ මොකක් ද?
පිළිතුර – අර්බුදකාරී තත්ත්වයන් මඟ හරවා ගැනීමට තමයි අපි හැකි තරම් උත්සාහ කරන්නේ. ඉන්දියාවෙන් පොහොර ගෙන්වනවා නම් ලංකාවට ගේන්නේ තූත්තුකුඩිය හරහා . තූත්තුකුඩියෙන් පොහොර ගේන්න ගතවන්නේ පැය තිස්හයක් හෝ හතළිස් අටක් වැනි කාල පරාසයක් පමණයි.
අපගේ දැන් බලාපොරොත්තුව කඩිනමින් තූත්තුකුඩි යෙන් පොහොර ගෙනැත් හරි යලකන්නය සාර්ථක කර ගැනීමයි.