එක් දින තරගයකදී ලකුණු 401 ගසා පරදිනවා නම් එක්කෝ එය ලෝක කරුමයකි. නැතිනම් ලකුණු හඹා යන්නන්ගේ ඉතිහාසගත ක්‍රිකට් වික්‍රමයකි. එවැනි හඹා ගොස් දිනා ගැනීමක් අන්තර්ජාතික ක්‍රිකට් ඉතිහාසයේ නැති බැවිනි.
එහෙත් ලකුනු 401ක් කඩුළු 06ක දි ලබා ගත් නවසිලන්ත පිල අද පකිස්ථානයට ලකුනු 21කින් පරාද වුනේය. ඒ ඩක්වර්ත් ලුවිස් න්‍යායයට අනුවය.
ලෝක කුසලාන තරගාවලියේ 35 වැනි තරගය ලෙස නවසීලන්තය සහ පකිස්ථානය අතර තරගය පැවැත්වුනේ බැංගලෝර් එම්. චින්නසාමි ක්‍රීඩාංගනයේ දී ය. තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්ථාන කණ්ඩායම මුලින්ම පන්දු රැකීම තේරුවේය.
ඒ තේරීම මොන තේරීමක් දැයි සිතුනේ නවසීන්ත කණ්ඩායම ගහපු ගැහිල්ලටය. නවසිලන්තයට පායපු අලුත් තරුව රචින් රවීන්ද්‍රය. රචින් ඔහු පන්දු 94ක දි ලකුණු 108ක් ලැබුවේය. ඊට හතරේ පහර 15කි. එක් හයේ පහරකි.
නායක කේන් විලියම්සන් පන්දු 79ක දී ලකුණු 95ක් ගත්තේය. හතරේ පහර 10ක් සහ හයේ පහර 02ක් සමගිනි. පළමු දෙවැනි කඩුල්ල වෙනුවෙන් රචින් රවීන්ද්‍ර සහ කෙන් විලියම්සන් ගොඩනැගූ සම්බන්ධතාවය ලකුනු 213කි. නවසීලන්තය කඩුළු 06ක් දැවී ලකුණු 401ක් රැස් කරගෙන පකිස්ථානයට හඹා ගොස් ජයගැනීමට ලකුනු 402ක ඉලක්කයක් ලබා දුන්නේය. ලකුණු 60කට කඩුළු 03ක් ලබා ගත් මොහොමඩ් වසීම් පමණක් පන්දු යැවීමේ දී සාර්ථක විය. හැරිස් රවුෆ්, ඉෆ්ටිකාර් අහමඩ් සහ හසන් අලි කඩුල්ල බැගින් ලබා ගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි පකිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු අබ්දුල්ලා ෂාෆිකියු ලකුණු 04ක් ලබා සිටිය දී දැවී ගියේය. ඒ දැවීයෑම පමණි. කදිම සම්බන්ධතාවයක් ෆකාර් සමාන් සහ නායක බාබර් අසාම් ගොඩනැගූහ. ෆකාර් සමාන් බැංගලෝරයේ දී පෑවේ ගිනි කෙළි සංදර්ශනයකි. ඔහු පන්දු 81ක දී නොදැවී ලකුණු 126කි. ප්‍රහාරක වේගය 155.55කි. ලකුණු 126 හයේ පහර 11කි. හතරේ පහර 08කි. හතරේ පහර සහ හයේ පහරවලින් පමණක් රැස් කළ ලකුණු ප්‍රමාණය ලකුණු 98කි. පිරිමි එක්දින ලෝක කුසලාන ඉනිමක හයේ පහර දහයක් හෝ වැඩි ගණනක් එල්ල කළ සිව්වැනි පිතිකරුවා වූයේ ඔහුය.
සිය සුපුරුදු වගකීම් සහිත ඉනිම ක්‍රීඩා කළ නායක බාබර් අසාම් නොදැවී ලකුණු 66ක් පන්දු 63ක දි ලැබුවේය. ඒ හතරේ පහර 06ක් සහ හයේ පහර 02ක් සමගිනි.
පන්දු ඕව 25.3 ක දී කඩුළු 01ක් දැවී පකිස්ථානය ලකුණු 200ක් ලබා සිටියේය. ධාරණිපාත වර්ෂාව ඇද හැලුනේ ඒ අවස්ථාවේදී ය.
නවසීලන්තය ඕවර 25.3කදී ලකුණු 179ක් ලබා ගෙන සිටියේය. ඒ එක් කඩුල්ලකටය. පාකිස්තානය 25.3කදී ලකුණු 200ක් ලබා ගෙන සිටියේය. ශුද්ධ ලකුණු වේගය ගණනය වන්නේ ඒ මත මත පදනම් කරගනිමිනි.
සවස 7.25ට තරගය මුලුමනින්ම අත්හැර දැමිමට විනිසුරුවරු තීරණය කළහ. පකිස්තානය ලකුනු 21ක ජයග්‍රහණයක් වාර්තා කළේය. තරගයේ වීරයා ෆකාර් සමාන්‍ය.
ප්‍රසාද ලකුණු සටහනේ අවසානයට ඉන්නේ එංගලන්තය ය. අද උදේ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය පැවැත්වුනේය. ඔස්ට්‍රේලියාව ලකුණු 33ක ජයග්‍රහණයක් ලබා ගත් බව සැබෑය. එහෙත් එම තරගයේ ද ක්‍රිකට් ක්‍රීඩාවට ඇවැසි තරගකාරී උනුසුම රැඳී තිබිණි. මේ තරගාවලියේ කුජිතම ක්‍රිකට් ගැසුවේ අප බව දැන් අපට සිතෙන්නේය.
අප ක්‍රිකට්වලට ආදරය කරන මිනිස්සුය. රට ඕනෑතරම් පැරදී ඇත්තේය . රටට අවශය වූයේ පරාජයක් වුවත් ගෞරවණීය පරාජයකි. පැරදුනත් කමක් නැතැයි හිතෙන තරමේ උණුසුම් තරගයකි.
ඒ තරග රටාව සිහිනයක් වී මළ මිනී වැනි පංචස්කන්ධ පිච් එක මැද මළගෙවල් හදන රටක ක්‍රිකට් ක්‍රීඩාවේ ඉරණම ලියැවෙනු ඇත්තේ කනත්තෙනි. මේ ලෝක කුසලානය අපට ඉඟි කරන්නේ එයදැයි නොදනිමු.
මේ වනවිට ප්‍රසාද ලකුනු සටහනේ 04 තැන පසුවන්නේ පකිස්ථානය ය. ඇෆ්ගනිස්ථානය පියවරක් පසුපසට පැමිණ 06 වැනි තැනට පැමණ ඇත. අප 07වන තැනය. අපට පහලින් නෙදර්ලන්තයත් බංගලාදේශයත් එංගලන්තයත් සිටී.
ඒත් අපි ක්‍රිකට් බලමින් සිටිමු.