අමායා උඩුවැරැල්ල –
රුසියාවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (16) චීනයේ බීජිං වෙත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
රුසියානු හමුදා යුක්රේනයට ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට යනවිට චීන නායක ෂී ජින්පින් සමඟ වන සමීප බැඳීමෙහි අවශ්‍යතාව අවධාරණය කරමින් පුටින් මෙලෙස දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා චීනය වෙත ගොස් තිබෙන බව වාර්තා වනවා.
මෙම සංචාරය පසුගිය සතියේ රුසියාවේ ජනාධිපති ලෙස නව ධූර කාලයකට ඇතුල් වීමෙන් පසු පුටින්ගේ සංකේතාත්මක පළමු විදේශීය සංචාරයයි. යුක්රේනයේ ඊසානදිග කාකිව් ප්‍රදේශය තුළ රුසියාවේ ඉදිරි ගමනට එරෙහිව හමුදා ආරක්ෂාව තරකර ඇති බැවින් ඉදිරියේ දී සියලුම ජාත්‍යන්තර සංචාර නවත්වන බවට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ඊයේ සිය කාර්යාලය හරහා ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් පැය කිහිපයකට පසු පුටින් මෙලෙස චීනයේ බීජිං අගනුවරට ගොඩ බැස තිබීම විශේෂත්වයක්.
චීන ජනාධිපති ෂී ජින්පින් සහ පුටින් අතර සිදු වීමට නියමිත රැස්වීම්වලදී ඔවුන්ගේ වෙළඳාම, ආරක්ෂාව සහ බලශක්ති සබඳතා පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය දක්වා තිබෙනවා. සංචාරයට පෙර පුටින් චීන රාජ්‍ය මාධ්‍ය සමඟ සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී රටවල් දෙක අතර තිබෙන පෙර නොවූ උපායමාර්ගික හවුල්කාරිත්වය අගය කර තිබෙනවා. විදේශ ප්‍රතිපත්ති සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ කර්මාන්තය සහ අධි තාක්ෂණය, අභ්‍යවකාශය සහ න්‍යෂ්ටික බලශක්ති සාමකාමී භාවිතය, කෘතිම බුද්ධිය, පුනර්ජනනීය බලශක්තිය සහ අනෙකුත් අංශවල සහයෝගීතාව ගැඹුරු කිරීම දෙරටෙහි නායකයින්ගේ අරමුණ බවත් ඔහු පවසා තිබෙන අතර එහි දී යුක්රේනය සමග වන අර්බුදය විසඳීම සඳහා චීනයේ ක්‍රියා පිළිවෙත ප්‍රශංසාවට ලක් කර තිබෙනවා. චීනය කිසිවිටෙකත් රුසියාවේ ආක්‍රමණය හෙළා දැක නැත.
යුක්රේන ආක්‍රමණයෙන් පසු පුටින් බීජිං වෙත ගිය දෙවන සංචාරය මෙය වන අතර ෂී ජින්පින් 2023 වසරේ දී චීනයේ ජනාධිපති ලෙස නව ධූර කාලයට පිවිසීමෙන් පසු මොස්කව් වෙත ගිය බව සඳහන් වනවා. නායකයින් දෙදෙනා ද්වීපාර්ශ්වික ගිවිසුම් කිහිපයකට ද අත්සන් කිරීමට අපේක්ෂා කරන බව ක්‍රෙම්ලිනය විසින් පසුගිය අඟහරුවාදා දින ප්‍රකාශ කර ඇති අතර චීන රාජ්‍ය මාධ්‍ය විස්තර කර තිබෙන පරිදි මෙම සංචාරය අතරතුර රුසියාවේ සහ චීනයේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 75 වන වසර සැමරීමට ද අපේක්ෂා කෙරෙයි.
බීජිං නගරයේ දී චීන ජනපති හමුවීමට අමතරව පුටින් රුසියාවේ ඈත පෙරදිගට මායිම්ව පිහිටි චීනයේ ඊසානදිග හයිලොන්ජියැන්ග් පළාතේ අගනුවර වන හර්බින් වෙත ද සංචාරය කිරීමට අපේක්ෂා කරන අතර එහිදී ඔහු වෙළඳ සහ සහයෝගීතා සංසදවලට සහභාගී වනු ඇති බව ද සඳහන් වනවා.







