රට බරපතල සමාජ ආර්ථික දේශපාලන අර්බුදයක ගිලී සිටින මොහොතක ක්රිකට් පිටිය උණුසුම් වී ඇත. බංගලාදේශය සහ ශ්රී ලංකාව අතර ඊයේ (16) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ දී පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා ක්රීඩකයින් සියලු දෙනා ලකුණු 397කට දැවී ගියේය.
තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ශ්රී ලංකා කණ්ඩායමය. නායක දිමුත් කරුණාරත්නගේ තේරීම වූයේ පළමුව පන්දුවට පහර දීමය.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අති විශිෂ්ට ඉනිමක් ඈන්ජලෝ මැතිව්ස් ක්රීඩා කළේය. ශ්රී ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු 397න් 199ක් මැතිව්ස්ගේ ය. ඔහු පන්දු 397කට මුහුණ දෙමින් ඉවසිලිවන්ත ඉනිමක් ක්රීඩා කළේය. එහෙත් ඉතාම අවසනාවන්ත ලෙස ඔහු ලකුණු 199 කට දැවී ගියේය. ද්විත්ව ශතකය එක් ලකුණකින් ගිලිහුනේය.
දිනේෂ් චන්දිමාල් ලකුණු පන්දු 148ක දී 66ක් ලැබුවේය. කුසල් මෙන්ඩිස් පන්දු 131ක දි ලකුණු 54ක් ලබා ගත්තේය. ඕෂධ පන්දු 76ක දී ලකුණු 36ක් රැස් කළේය. දිමුත් කරුණාරත්න ලකුණු 09කට දැවී ගියේය. ධනංජය ද සිල්වා ලබා ගත හැකි වූයේ ලකුනු 06කි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 03කටත්, රමේෂ් මෙන්ඩිස් ලකුණු 01කටත්, ලසිත් ඇඹුල්දෙණිය ලකුණු නොලබාත් දැවී ගියේය. විශ්ව ප්රනාන්දු ලකුණු 17ක් ලබාගෙන නොදැවී එක් අන්තයක සිටියේය.
බංගලාදේශය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක යෙදුනේ නයීම් හසන්ය. හසන් පන්දු ඕවර 30ක් යවා ලකුණු 105කට කඩුලු 06ක් බිඳහෙළුවේය. ශකීබ් අල් හසන් පන්දු ඕවර 39ක් යවා ලකුණු 60කට කඩුළු 03ක් ලබා ගත්තේය. ඉතිරි කඩුල්ල ලබා ගත්තේ තයිජුල් ස්ලාම්ය. ඔහු පන්දු ඕවර 48ක් යවා ලකුණු 107කට එම කඩුල්ල ලබා ගත්තේය.
බංගලාදේශ ඉනිම ආරම්භ වී ඇත. ආරම්භක පිතිකරුවො හොඳින් පන්දුවට පහර දෙමින් සිටිති. පන්දු ඕවර 16ක් තුළ කිසිවෙක් නොදැවී ලකුණු 58ක් ලබාගෙන ඇත. කිසිම කඩුල්ලක් දැවී නැත.