ඉරාන රජය විවේචනය කරමින් ගීත නිකුත් කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් රැප් ගායක ටූමාජ් සලේහි ට එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙන බව ඔහුගේ නීතිඥවරයා බදාදා එනම් ඊයේ (24) ප්‍රකාශ කර තිබෙනවා.
සලේහි ඔහුගේ ගීත වලින් 2022 වසරේ දී ඉරානයේ මාස ගණනක් පැවති විරෝධතාවලට සහාය දක්වා ඇති බවයි සඳහන් වන්නේ.
2022 වසරේ පැවති එම විරෝධතාවයන්ට හේතුව, නුසුදුසු හිජාබයක් පැළඳ සිටි බව කියන චෝදනාව මත අත්අඩංගුවට ගත් 22 හැවිරිදි කුර්දි ඉරාන කාන්තාවක් වන මහ්සා අමිනි පොලිස් අත්අඩංගුවේ දී මිය යාමයි. සලේහි මුලින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2022 වසරේ ඔක්තෝම්බර් මාසයේදී රටපුරා විරෝධතාවලට සහය දක්වමින් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරමින් සිටින අවස්ථාවකදී යි.
මේ සම්බන්ධව 2023 වසරේ ඔහුට වසර හයයි මාස තුනක සිරදඬුවමක් නියම වූ අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හේතුවෙන් ඒ අවස්ථාවේ ඔහුට මරණීය දණ්ඩනය මඟ හැරී තිබුනා.
කෙසේ වෙතත් ස්ලේහි ගේ නීතීඥවරයා පවසන පරිදි ඔහුට දුන් තීන්දුවට අභියාචනා ඉදිරිපත් කිරීමට දින 20 ක කාලයක් ලබා දී තිබෙනවා. එමෙන්ම අනිවාර්යයෙන්ම තීන්දුවට අභියාචනයක් ඉදිරිපත් කරන බවද නීතීඥවරයා පවසා තිබෙනවා.
කෙසේ වෙතත් ඉරානය සඳහා වූ විශේෂ නියෝජිත එක්සත් ජනපද කාර්යාලය මෙම දඬුවම හෙළා දකිමින් X හි ප්‍රකාශයක් පළ කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
ඉරානයේ සමාජ ගැටලු සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තම විරෝධය ගීත හරහා මුදා හැරි ප්‍රසිද්ධ ඉරාන හිප් හොප් කලාකරුවෙක් වන ටූමාජ් ස්ලේහි ට එල්ල ව ඇති චෝදනා වන්නේ දේශද්‍රෝහීත්වයට සහය වීම, රැස්වීම සහ සහයෝගීතාවය, පවතින ක්‍රමයට එරෙහි ප්‍රචාරණය සහ කැරලි කෝලාහල සඳහා කැඳවීම් සිදු කිරීම ආදියයි.