ගුරු සේවා වැටුප් විෂමතාවට තවමත් නිශ්චිත විසඳුමක් ලබා දී නොමැති බවත්, ගුරු සේවය, ගුරු උපදේශක සේවය, විදුහල්පති සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය සහ අධ්‍යාපන පරිපාලන සේවය එකම ඒකකයක් සේ සලකා බලා වැටුප් විෂමතා ඉවත් කිරීමේ සංකීර්ණ කටයුත්ත සම්බන්ධව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් පවතින බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේය.
අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසූ 27/2 ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමතිවරයා ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඇති වූ ආකාරය සම්බන්ධව දීර්ඝ ඉතිහාසය විස්තර කරමින් මෙම වැටුප් විෂමතා විසඳුනු ලබන්නේ සුබෝධනී කමිටු වාර්තාව මත පදනම්ව නොව, මීට දෙවසරකට පෙර පත්කළ පාර්ලිමේන්තු අනු කමිටු වාර්තාව මත පදනම්ව බවය.
ඇමතිවරයා පෙන්වා දුන්නේ සුබෝධනී කමිටු වාර්තාව වැටුප් කොමිසම විසින් ප්‍රතික්ෂේප කළ එකක් බවය. මේ විෂමතාවය විසඳීම අදියර කීපයක් ඔස්සේ සිදුකරන බවත්, කොටස් තුනකින් වැඩි කිරීමට යෝජිත ගුරු වැටුප් වැඩිකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරගත නොහැකි වූයේ රාජ්‍ය සේවයේ සියලුම සේවකයින්ට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් සිදුකිරීම නිසා බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ගුරු සේවය සහ විදුහල්පති සේවය සංවෘත සේවාවක් බවට පත් කරනවිට ගුරු උපදේශක, ගුරු අධ්‍යාපනඥ, සහ අධ්‍යාපන පරිපාලන සේවා ඉන් බැහැර වීම හේතුවෙන් ඉදිරි කටයුතු සංකීර්ණ වී ඇතැයි ද එය ඉතාම කල්පනාවෙන් විසඳිය යුතු ගැටලුවක් වී ඇතැයි ද කීවේය.
තවද සාමාන්‍යපෙළ උත්තර පත්‍ර බැලීම සඳහා එක්වන ගුරුවරුන් 35000 ප්‍රමාණය සඳහා අනිවාර්ය දීමනා වැඩිකිරීමක් කරන බවට ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී සහතික වුනේය.