ඕමානය හා ශ්රී ලංකාව අතර පැවති පළමු විස්සයි 20 තරගයෙන් ලකුණු 19 ක ජයග්රහණයක් ලබා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
මේ තරගයේ දී ඕමාන කණ්ඩායම ලබා දුන් තියුණු අභියෝගය මුළු තරගය පුරාම කැපී පෙනුණි
කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම ඉතාම තියුණු පීඩනයකට ලක් කිරීමට ඕමාන පන්දු යවන්නට හැකි විය. ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් මුහුණ දුන් මුල් පන්දුවෙන්ම දැවී ගියේය. කමිඳු මෙන්ඩිස් මුහුණ දුන් මුල් පන්දුවෙන් දැවී ගියේය. පැතුම් නිශ්ශංක ලබා ගත්තේ පන්දු 14ක දී ලකුණු 8ක් පමණි. භාණුක රාජපක්ෂ ලකුණු 15කට දැවී ගියේය. කලීමුල්ලා එක් කඩුල්ලක්, ෆයියාස් බට් කඩුලු 2ක් ඛවාර් අලි එක් කඩුල්ලක් දවාගෙන සිටියේය.
මේ අවස්ථාව ගොඩ ගනු ලැබුවේ ලබා දුන් උඩපන්දු දෙක අත්හැරීමේ වාසිය ලබා ගෙන පන්දු 59කට ලකුණු 83ක් ලබා ගත් අවිශ්ක ප්රනාන්දු සහ පන්දු 24කින් ලකුනු 51 රැස් කරමින් නායකත්වයේ ඉනිමක් ක්රීඩා කළ දසුන් ශානකය. දසුන් අවසන් ඕවරයේ අවසන් පන්දු තුනෙන් ලකුණු 16ක් ලබාගෙන සිය අර්ධ ශතකය සමග ලකුණ 162ක ඉලක්කයක් කරා කණ්ඩායම ඔසවා තැබුවේය.
එම ඉලක්කය හඹා යෑමේ දී මොහමඩ් නසීම් පන්දු 32ක දී ලකුණු 32ක් රැස් කළේය. අයාන් ඛාන් පන්දු 25ක දී ලකුණු 23ක් හා කඩුලු රකින ක්රීඩක නසීම් කුෂ් පන්දු 22ක දී ලකුණු 40ක් රැස් කළේය.
ඕමාන කණ්ඩායම පන්දු ඕවර 20 අවසානයේ දී කඩුලු 8කට ලකුණු 143ක් රැස් කළහ.
පන්දු යැවීමේ දී ලහිරු කුමාර ඕවර 4 තුළදී ලකුණු 28කට කඩුළු 4ක්, නුවන් ප්රදීප් පන්දු ඕවර 2ක් යවා ලකුණු 7කට කඩුළු 2ක්, චාමික කරුණාරත්න පන්දු ඕවර 4ක් යවා ලකුණු 28කට කඩුලු 2ක් ලබා ගත්තේය.
ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 19ක ජයග්රහණයක් ලැබුවේය.