පසුගිය ඉරිදා ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගැනුණු අයි.ඒස් අන්තවාදී කල්ලි සාමාජික ලාංකික තරුණයන් සිව් දෙනාම පුනරුත්ථාපනය කළ යුතු බවට 2019 වසරේ සිට නම් ගම් සහිත ව හඳුනගෙන තිබූ බව ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයයේ ජාත්‍යන්තර නීතිය පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ අනාවරණය කරයි.
මෙම තරුණයන් රැඩිකල්කරණය වී ඇති බව 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනය සඳහා පත් කරන ලද විනිසුරු ජනක් ද සිල්වා පුම්‍රඛ ජනාධිපති විමර්ශන කොමිසම විසින් කරන ලද විමර්ශනවලදී හඳුනා ගත් බවත් මෙම සිව් දෙනා අතුළු තරුණයන් හාරසියක් පමණ පුනරුත්ථාපනය කළ යුතු බවට එම වාර්තාව මඟින් නිර්දේශ කර ඇති බවත් පුන්සර අමරසිංහ මෙහිදී පෙන්වා දුන්නේය.
එහිදී පුන්සර අමරසිංහ ප්‍රකාශ කළේ එම කොමිසම විසින් හදුනා ගත් තොරතුරු මත ලබා දුන් නිර්දේශ රට තුළ නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවය.
“ ඉස්ලාම් අන්තවාදය සඳහා බලපෑමක් ඇති කරන සංවිධාන ගණනාවක් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මගින් තහනම් කළ යුතු බවට නිර්දේශ කළා. මෙම සංවිධානවලට අමතරව මද්‍රසා නැමැති ඉස්ලාමීය පාසල්වල පෙළපොත්වලින් අන්තවාදය පෝෂණය කරවන බවට සදහන් වුණු නිසා ඒවා තහනම් නිරීමටත් නිර්දේශ වුණා. නමුත් 2023 වනවිට රාජ්‍ය නොවන සංවිධානවල බලපෑම ඇතුලු ක්‍රියාකාරීත්වයන් හේතුවෙන් එම පියවර ආපස්සට ගැනුණා. නමුත් මෙම රැඩිකල්කරණය වුණු තරුණයක් පුනරුතථාපනය කිරීමේ වැඩපිළිවෙලේ අවහ්‍යතාව මෙම සිදුවීමෙන් පේනවා“ යයි ද පුන්සර අමරසිංහ සඳහන් කළේය.
එහිදී ඔහු අයි.එස් ජාලයේ ඉන්දීය ක්‍රියාකාරකම් ආශ්‍රිත තත්වයද මෙසෙ පැහැදිලි කළේය.
“ ඉන්දියාව අයි.එස් ත්‍රස්ත සංවධානවල ක්‍රියාකාරීත්වය ගැන විශේෂ උනන්දුවකින් ක්‍රියාකරනවා. එහි බුද්ධි අංශ ඉතා සංවිධානාත්මකව මෙම තොරතුරු ලබා ගන්නවා. 2016 අවුරුද්දේ ශ්‍රි ලංකාවේ ගලේවෙල තරුණයෙක් සහ ඔහුගේ පවුලේ අය සිරියාවට ගිහින් අයි.එස් සංවිධානයට බැඳුණා කියල තොරතුරු එළි වුණාට පසුව ඔවුන් මේ සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමු කර බුද්ධි තොරතුරු ජාලයක් ගොඩ නගා ගන්නවා. ඒ අනුව 2018 දී අදීල් එක්ස් නැමැති තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවකු අන්තර්ජාලය පාවිච්චි කරල ශ්‍රි ලංකාවේ තරුණයන් රැඩිකල්කරණය කිරීමේ ක්‍රියාවලියක දැඩිව නිරතව සිටින බවට ඉන්දීය බුද්ධි අංශ තොරතුරු ලබා දෙනවා. නමුත් මෙම පුද්ගලයා අත්අඩංලුවට ගන්නේ 2019 දී. එයින් අපේ රටේ මේ සම්බන්දයෙන් ක්‍රියාත්මක වන ආකාරය පේනවා. ”
ඉන්දියාව සිය බුද්ධි ජාලය ප්‍රාන්ත මට්ටමින් දියත් කර සිය ජාලය පුළුල් සහ ශක්තිමත් කරගෙන තිබෙනවා. ඔවුන් පසුගිය සතියේත් කටයුතු කළේ ඉතාම නිවැරදිව. ඔවුන්ගේ රටේ මෑත කාලීනව මහා පරිමාණ අන්තවාදී ප්‍රහාරයක් එල්ල කරන්න ඔවුන්ට බැරිවුණේ මේ නිසයි. ශ්‍රි ලංකාවෙ අයි.එස් ජාලය කේරළයේ සහ තමිල්නාඩුවේ වහාබ්වාදී සංවිධාන සමග සවිමත් ජාලයක් තිබෙනවා. මේ නිසා ඉන්දීය බුද්ධි අංශ දෙන තොරතුරු ඉතා වැදගත්.“ යයිද පැවසීය.
කෙසේ වුවද පුන්සර අමරසිංහ තවදුරටත් අවධාරණය කළේ දැන් ශ්‍රි ලංකාව මෙම සැකකරුවන් ශ්‍රි ලංකාවට ගෙනවිත් අදාළ නෛතික කටයුතු ශක්තිමත්ව සිදු කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවය.