සූරියවැව නුවන් ජයසේකර-
විෂ රසායනයක් මිශ්‍ර කර මත්පැන් පානය කිරිමට සලස්වා සැමියා ඝාතනය කිරීමේ චෝදනා මත ඔහුගේ බිරිය බෙලිඅත්ත පොලිසිය මගින් ඊයේ (25) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙලිඅත්ත,කොස්ගහගොඩ පදිංචි 39 හැවිරිදි කාන්තාවකි.
සැකකාර කාන්තාවගේ සැමියා වන 45 හැවිරිදි බී.ගයාන් චන්දිම කුමාර නැමති අය නිවසේ මත් පැන් පානය කරමින් සිටියදී ඔහුගේ බිරිය විසින් ඊට රන් ආලේප කිරීම සඳහා යොදා ගන්නා “පොරම්“ නැමති රසායනික ද්‍රව්‍යය මිශ්‍ර කර මත්පැන් පානය කිරීමට සලස්වා ඇති බව හෙළි වී ඇත.
පසුව සැකකාරිය විසින් සැමියා මත් පැන් පානය කරමින් සිටියදී අසනීප වු බව පවසා ඇය විසින්ම සැමියා බෙලිඅත්ත රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔහු මියගොස් තිබේ.
ඒ අනුව නිවසේ මත්පැන් පානය කරමින් සිටියදී ඇති වු රෝගි තත්වයක් හේතුවෙන් සැමියා මරණයට පත්වීම සම්බන්ධයෙන් සැකයක් නොමැති බව පවසා සිරුරේ කොටස් පශ්චාත් මරණ පරීක්ෂණ සදහා යොමු කර සිරුර පිළිබදව හදිසි මරණ පරීක්ෂණයක් සිදුකර මෘත ශරීරය පවුලේ ඥාතීන් වෙත බාරදී අවසන් කටයුතු සිදුකර තිබේ.
පසුව සිරුරෙන් ලබා ගත් කොටස් සම්බන්ධයෙන් වැඩිදුරටත් සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණයේදි අනාවරණය වි තිබුණේ මෙම පුද්ගලයාගේ මරණයට හේතුව මත් පැන් සමග “පොරම්“ නැමති විෂ රසායනය ශරිරගත වීම නිසා බවය.
ඒ අනුව බෙලිඅත්ත පොලිසිය විසින් යළි මේ සම්බන්ධයෙන් සිදුකළ මුලික විමර්ශන වලදී අනාවරණය වි තිබුණේ සැමියා හා බිරිය අතර පැවති පවුල් ආරවුලක් හේතුවෙන් බිරිය විසින් සැමියාට මත් පැන් සමග විෂ ශරීරගත විමට සළස්වා මරණයට පත් කර ඇති බවය.
සිද්ධියට අදාලව මියගිය පුද්ගලයාගේ බිරිය බෙලිඅත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර සැකකාරිය තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්නගේ උපදෙස් පරිදි බෙලිඅත්ත පොලිසියේ අපරාධ අංශයේ නිළධාරීන් වැඩිදුර විමර්ශන පවත්වයි.