ලෝක ෆැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාවේ වාර්ෂික විචිත්‍රවත්ම සැනකෙළිය අද (26)ය. බොහෝ විට එය ලෝක කුසලානයකට වඩා අලංකාරය. උද්යෝගමත්ය. උනන්දුව දනවන සුළුය.
2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කිරුළ සඳහා අද (26) කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තරග වදිති. ඒ චෙන්නායිහි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගනයේ දී ය. සවස 7.30ට තරගය ආරම්භ වන්නේය.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මෙහෙයවන්නේ ශ්‍රෙයාස් ලියර් ය. සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකයා පැට් කමින්ස් ය. ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ හා ටෙස්ට් කණ්ඩායමේ නායකයා වූ කමින්ස් විස්සයි 20 තරගාවලියක් සඳහා කණ්ඩායම මෙහෙයවන මුල්ම අවස්ථාව මෙය ය.
කණ්ඩායම් දෙකම තරගාවලියේ දී දැක්වූ දක්ෂතා මනරම්ය. ඔවුන්ගේ ප්‍රහාරය සංදර්ශනාත්මකය. ප්රවේගවත්ය. මූලික වටයේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරග 14කට මුහුණ දෙමින් ඉන් තරග 09ක් ජයගෙන ඇත. සන්රයිසස් කණ්ඩායම තරග 14කට මුහුණ දී ඇති අතර ඉන් තරග 08ක් ජයගෙන තිබේ. මේ වාරයේ ඔවුන් මෙතෙක් ප්‍රදර්ශනය කළ විචිත්‍ර හැකියාවෙන් අඩබැගින් අවසන් මහා තරගයේ රූපණය කළ ද එය රසිකයන්ට අමතක නොවන ඉතිහාසගතවන කතාවක් නිර්මාණය කරනු ඇත.
![](http://lankasara.com/wp-content/uploads/2024/05/2.jpg)
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු සටහනේ අංක 1 ස්ථානයේ ය. පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී ඔවුන් සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසුනේ සිය මුල් තැන තහවුරු කරගෙනය.
දෙවන සුදුසුකම් ලැබීමේ තරඟයට තරඟ කළ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම ප්‍රබල රාජස්ථාන් රෝයල්ස් පරාජය කරමින් අවසන් මහා තරගයට ප්‍රවේශ වන්නේය.
ලොව වඩාත්ම ආශ්වාදනීය ෆැන්චයිස් ක්‍රිකට් තරඟාවලියක සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමට හිමිවූ එකම ශූරතාවය හිමිවන්නේ වර්ෂ 2016 දී ය. එම ජයග්‍රහණය ඔවුන් විසින් හිමි කරගන්නේ තවත් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වන ඩේවිඩ් වෝනර් යටතේය.
IPL වෙන්දේසියේදී හයිද්‍රාබාද් කණ්ඩායම ඩොලර් මිලියන 2.5ක් ගෙවූ වේග පන්දු යවන ක්‍රීඩක කමින්ස්, පසුගිය වසරේ ලෝක ටෙස්ට් ශූරතාව සහ එක්දින ලෝක කුසලාන ජයග්‍රහණය යන දෙකම ඔස්ට්‍රේලියාවට ගෙන ගිය ඔස්ට්‍රේලියානු නායකයා ය. එහෙත් සන්රයිසස් හයිද්‍රාබාද් නායකත්වයට පත්වීමට පෙර කමින්ස් කිසි දිනෙක විස්සයි20 ක්‍රිකට් කණ්ඩායමක් මෙහෙයවා නැත.
![](http://lankasara.com/wp-content/uploads/2024/05/3.jpg)
තවත් විශේෂයක් තිබේ. IPL ෆ්‍රැන්චයිස් නායකත්වය සම්පූර්ණයෙන්ම වෙනස් ය. එය විශේෂ අභියෝගයකි. කමින්ස් එම අභියෝගවලින් සමහරක් අවසන් තරගයට ආසන්න දිනක ගෙනහැර දැක්වීය.
“මම හිතන්නේ IPL වැනි තරඟාවලියකදී, පැහැදිලිවම නරඹන රසිකයින්, මාධ්‍යවලින් සහ මාධ්‍යවේදීන්ගෙන් විශාල පීඩනයක් තියෙනවා,” කමින්ස් පැවසීය. කමින්ස්ගේ නායකත්වය යටතේ මනරම් පෙරළියක් කරමින් ඉදිරියට එන සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම IPL ඉතිහාසයේ දෙවන වේගවත්ම ලකුණු ලබා ගත් කණ්ඩායමය.
එමෙන්ම මේ තාක් විශිෂ්ටම සාර්ථකත්වය ප්‍රකට ඇත්තේ ශ්‍රෙයාස් ලියගේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩාමය. මේ විචිත්‍ර සටන මේ වනවිට ලෝක ක්‍රිඩා ලෝලීන්ගේ අවධානයට දිනාගෙන ඇති ප්‍රධානම ක්‍රිකට් ඉසව්වය.
අවසන් මහා තරඟයේ සජීවී විකාශනය Star Sports Network ඔස්සේ විකාශනය වනු ඇත.