අමායා උඩුවැරැල්ල –
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කොට් හි TRP ක්‍රීඩා කලාපයේ ඊයේ ඇති වූ ගින්නෙන් වූ පුද්ගල මරණ සංඛ්‍යාව 33 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයන් 15 දෙනෙකු පමණ තවමත් අතුරුදන්ව සිටින බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ගුජරාට් මහාධිකරණය විසින් මෙම සිදුවීම හඳුන්වා ඇත්තේ මිනිසා විසින්ම නිර්මාණය කළ ව්‍යසනයක් ලෙසයි.
කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ ගුජරාට් ප්‍රාන්ත රජය සහ ප්‍රාදේශීය පරිපාලනය ඊයේ රාත්‍රියේ සිට මේ දක්වාම මියගිය පුද්ගලයන්ගේ හෝ අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව පිළිබඳ කිසිඳු සංඛ්‍යාලේඛනයන් ලබා දී නොමැති බවයි. ගුජරාට් ප්‍රාදේශීය මාධ්‍ය සහ මූලාශ්‍ර තහවුරු කර ඇත්තේ අවම වශයෙන් මේ වනවිට පුද්ගලයින් 33 දෙනෙකු මියගොස් 15 කට වැඩි පිරිසක් තවමත් අතුරුදහන් ව ඇති බවයි. මියගිය පිරිස අතරට එකම පවුලක සාමාජිකයන් පස් දෙනෙකු ද ඇතුළු වන බව වාර්තා වනවා.
රාජ්කොට් හි TRP ක්‍රීඩා කලාපය තුළ ඊයේ සවස් කාලයේ මෙම ගින්න හටගෙන තිබූ අතර එහි පිහිටීම අනුව පැය කිහිපයක් ගත වන තෙක් ම ගිනි නිවීමේ කටයුතු දුෂ්කර වූ බව සඳහන් වනවා.