ලලිත් චාමින්ද –
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටට වාහන ආනයනය කිරීම තහනම්කොට තිබු කාල සීමාව තුළදී එවකට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් රාජ්‍ය බැංකුවක් හරහා මුදල් අමාත්‍යංශය සඳහා රුපියල් මිලියන 1,140ක ණයවර ලිපි විවෘත කර සම්පුර්ණ ගෙව්ම් සිදුකොට වාහන ආනයනය කොට ඇතිබව ජාතික විගණන කාර්යාලයය විසින් සිදුකළ විගණනයකින් අනාවරණය වී ඇත.
2021 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී මෙකී වාහන ආනයනය කොට ඇත. ඒ වනවිට රටේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂය.
මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරණු ලැබු 2021 මාර්තු 18 දිනැති ලිපියට අනුව මුදල් අමාත්‍යංශය සදහා මෝටර් ජිප්රථ 225ක්, ඩබල් කැබ් රථ 50ක්, ඉහළ වහළය සහිත ගිලන්රථ 50ක් සහ ජල බවුසර් 50ක් ආනයනය කිරිම සඳහා බැංකුව විසින් ණයවර ලිපි 08ක් විවෘත කරණු ලැබ ඇත.
මෙකී ණයවර ලිපි 2021 වර්ෂයේ අප්‍රේල් මස 21 වැනිදින නිකුත්කොට තිබුණි. පසුව මුදල් අමාත්‍යංශය විසින් කරණු ලැබු ඉල්ලිමකට අනුව නවතම ටොයෝටා ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ ජිප් රථ 225ක් ආනයනය කිරීම සඳහා විවෘතකොට තිබු ණයවර ලිපි 03ක් අවලංගු කොට තිබුණි.
එමෙන්ම ආනයනික වාහනවල මුල්‍ය කල්බදු සඳහා යෝජිත වාර්ෂික පොලි අනුපාතය සියයට 7.5 වු අතර එය වෙළදපොළ පොලි අනුපාතයට වඩා අඩු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
ආනයනය කරණු ලැබු ජල බවුසර් 35ක් සහ කැබ් රථ 04ක් බෙදා හැර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
වාහන ආනයනය සඳහා පුර්ව නිශ්චිත අවශ්‍යතාවයක් නොතිබීම හෝ අවශ්‍ය පාර්ශව අතර බේදා හැරීමට සැලැස්මක් හෝ නොතිබීම හේතුවෙන් මෙම වාහන ලියාපදිංචි කොට නොතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
ආනයන අපනයන පාලකගේ අනුමැතිය මත සියලු ණයවර ලිපි විවෘත කොට ඇති බව අදාල රාජ්‍ය බැංකුව විසින් විගණනයට සඳහන් කොට ඇත.
මේ කතාවත් බලන්න…
ආණ්ඩුව ප්‍රාඩෝ ජීප් 225ක් ඇතුළු වාහන 400ක් හදිසියේ ගෙන්වීමට සැරසෙයි







