මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනුයේ වර්ෂාව හා ආර්.ප්‍රේමදාස පිටියේ සහායකයන් හෙවත් ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකය.
තණතීරු සකස් කරන්නන්ට අමතරව තණතීරු ආවරණ අදින්නට හා එළන්නට සේවකයන් 140 ක් පමණ එහි වෙති.
මොවුන් වැඩට ගෙන තාවකාලික පදනමින් ඇත්තේ දවස් පතා පඩියකටය. දිනක වැටුප කෑම වේල හතරක් සමග රුපියල් 3000/= කි. කෑම වේල සමග වතුර බෝතලයක් හෝ නැත.
ඊට අමතරව කොට කලිසම් දෙකක් පාට දෙකකින් ටී ෂර්ට දෙකක් හා කැප් එකක් ලබා දී ඇති අතර තෙමුණු පසු මාරු කිරීමට අමතර ටි ෂර්ටයක් හෝ නොමැත.
මීට පෙර පැවති ඇතැම් තරගාවලිවල වැහි කබායක් දුන්නද මෙවර එවැන්නක් ලබා දී නැත.
කොළඹට ඇද හැලෙන වර්ෂාව මධ්‍යයේ තරග පවත්වන්නේ මේ පිරිස නිසා බව ජාත්‍යන්තර මාධ්‍යෙවලද කතාබහට ලක්ව තිබේ.
ලොව පුරා කෝටි ගණනක් ජාත්‍යන්තර රූපවාහිනී විස්තර විචාරය අතර තුර මොවුන්ගේ කාර්‍යක්ෂම සේවාව දකින අතර ඉන්දීය නායක රොහිත් ෂර්මා පවා මොවුන්ගේ සේවය අගය කළේය.
ඒ අතර එඩිට් කරන ලද සේයාරුවක් සහිතව රොහිත් ෂර්මා ඉන්දීය පිලට ලැබුණු තෑගි මුදල මොවුන්ට පිරිනැමූ බවට බොරුවක්ද සමාජ ජාල වල ප්‍රචාරය විය.
ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකට සලකන හැටි
එහෙත් මොවුන්ගේ ඇත්ත කතාව බොහෝ දෙනකු දන්නේ නැත.
මේ සමහරු ආර්.ප්‍රේමදාස පිටිය අවට වාසය කරන්නන් වන අතර ඇතැමුන් ගාල්ල වැනි දුර බැහැර ප්‍රදේශ වලින් ගෙන්වා ගත් තණතීරු ඇදීමේ කලාව හොඳින් උගත් අය වෙති.
මොවුන්ට තරග පැවැත්වෙන සමයේ ගෙවල් වලට යාමටද වරම් නොමැත.
පැය විසි හතරම සූදානමින් සිටිය යුතු අතර පෙරවරු 6 වන විට ක්‍රීඩාංගණයට ඇතුල් වී තරගය අවසාන වීත් මැදියම් රැය වනතුරු උදේ හැඳගත් ඇඳුම පිටින්ම සිටිය යුතුය.
වැස්සටද තෙමිය යුතුය.
හැමවිටම අහස්කුස නිරීක්ෂණය කරමින් වළාකුළුවල ස්වභාවය අධ්‍යයනය කරමින් සිටිය යුතුය.
වැස්සට තෙමී පැමිණි ප්ලේන් ටී එකක් හෝ කෝපි එකක් හෝ නොමැත.
කෑම වේලකට පසු හෝ වැඩ කරන අතරතුර පිපාසයට බොන්නට වතුර බෝතලයක් හෝ නොලැබෙයි .
එහෙත් ආර්.ප්‍රේමදාසයේ ඇති වායුසමීකරණය කර ඇති ක්‍රිකට් ඉහළ බලධාරීන්ගේ කුටි වලට වතුර නොව ඕනෑතරම් විස්කි හා බියර් බෝතල් සැපයේ.
ඒවා ගෙනත් බාන්නේ ක්‍රිකට් ආයතනයේම වැටුප් ලබන සංචාර හසුරුවන නිලධාරීන්ම වීමත් ඔවුන්ට තණතීරු අදින සේවකයන්ට වතුර බෝතලයක් ලබා දීමට නොහැකි වීමත් කැපී පෙනේ.
එක දිගට වතුරේම සිටීමෙන් සමහර සේවකයන්ගේ යටි පතුල් කුණු වී ඇති බවද වාර්තාවේ.
තරග නැරඹීමට එන ප්‍රේක්ෂකයන්ටත් රූපවාහිනියෙන් තරග නරඹන කෝටි සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන්ටත් වර්ෂාව මධ්‍යයේ තරගය පවත්වනු දැක බලාගැනීමට හැකි වන්නේත් දෙපිලේ ක්‍රීඩකයන්ට තරගයේ ක්‍රීඩා කර ප්‍රතිඵලයක් ලබා ගත හැකි වන්නේත් මොවුන්ගේ කාර්‍යක්ෂම සේවය නිසාය.
ලෝකෙටම එකයි
වර්ෂාවට පෙර ක්‍රීඩාංගණය නොතෙමෙන්නට මුළු ක්‍රීඩා පිටියේම තණතීරු එළන්නට ඔවුන්ට යන්නේ ව්නාඩි දහයකට අඩු කාලයකි.
වර්ෂාවෙන් පසු මුල් අවදියේ තණතීරු ආවරණ මත තිබෙන වතුර ඉවත් කිරීමට සුපර් සොපර් යොදා ගත්තද දැන් එම තාක්ෂණයට කාලය මිඩංගු නොකොට කෙලින්ම ආවරණ පිටියෙන් ඉවතට ඇදීමේ ක්‍රමයක් භාවිත කෙරේ.
ඒ වැස්සට පෙර තණතීරු එකක් මත එළන ක්‍රමය මගිනි. නැවත ඒවා ඉවත් කරන්නේද ඒ අනුවය.
එනිසා වර්ෂාවෙන් පසු පැය භාගයක් ඇතුළත සියලුම ආවරණ පිටියෙන් ඉවත් කිරීමට මොවුන්ට හැකියාව තිබේ.
ලොව කිසිම ක්‍රිකට් ක්‍රීඩාංගණයක වර්ෂාවට මුළු පිටියම ආවරණය නොකෙරෙන අතර මෙතරම් පුහුණු ක්‍රීඩාංගණ සේවක පිරිසක් නොමැත.
මෙවැනි සේවයක් සිදු කරන මෙම සේවක පිරිස එවැන්නක් කරන්නේ මෙවැනි දුෂ්කරතා හා අපහසුකම් රැසක් මැද බව බොහෝ දෙනා නොදනිති.
තරගය ක්‍රීඩා කරන ක්‍රීඩකයන් පවා තරගයෙන් පසු ටී ෂර්ටයක් හෝ බොටමක් මොවුන්ට විසි කරනු දැකිය හැකි වුවත් ලැබෙන ඩොලර් පන්දාහක තරග දීමනාවෙන් ඩොලරයක් වත් මොවුන්ට දෙනු දැක ගත නොහැක.
තරග දිනා දෙන ක්‍රීඩකයන් වීරයන් ලෙස සළකද්දී තරගය පවත්වන්නට මග සළසා දෙන මොවුන්ද වීරයන් ලෙස සැළකිය යුතු නොවේද?