උද්ඝෝෂණ, විරෝධතා වැලැක්වීම සම්බන්ධව උසස් පොලිස් නිලධාරීන් ලබා දෙන උපදෙස් කොළඹ දකුණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මාරපන විසින් පිළිපදින්නේ නැති බැවින් ඔහුව වහාම ස්ථාන මාරු කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයාට ලිපියක් යවා ඇතැයි වාර්තා වේ.
මැයි 09 දා සිදුවූ සිදුවීමෙන් පසු ඇතිවූ විරෝධතා හේතුවෙන් ආණ්ඩුවක් පෙරළුන බවත්, නැවත එවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා උසස් නිලධාරීන් විසින් ලබා දෙන නියෝග කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැහැර හැර ඇති බවත් එම ලිපියෙන් දන්වා ඇතැයි දැනගන්නට ඇත.
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ එම ඉල්ලීම පදනම් කරගෙන ස්ථාන මාරුවක් ලබා දීමට පෙර කොළඹ දකුණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් පිළි නොපදින ලද ඉහළ නිලධාරීන්ගේ නියෝග මොනවා දැයි විමර්ශනය කිරීමට පොලිස්පතිවරයා විසින් විශේෂ පොලිස් විමර්ශන ඒකකයට නියෝග කර තිබේ.
කොළඹ දකුණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස කටයුතු කරන මාරපන නැමැති නිලධාරියා කිසිම අනීතික නියෝගය පිළිනොපදින නිලධාරියෙක් බවට පොලිස් දෙපාර්තමේන්තුව තුළ ගෞරවයක් හිමිකරගෙන ඇති බව පොලිස් දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
පසුගිය දා මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස්ගේ අනීතික නියෝග පිළිපදින්නට බැරි බව ඔහුගේ මූණටම ප්‍රකාශ කර තිබුණේ මෙම නිලධාරියා විසිනි.
මේ ප්‍රවෘත්තියත් බලන්න







