ඕනෑම පුද්ගලයකු හෝ කණ්ඩායමක් බලයෙන් නෙරපා හැරීමට වෙන වෙනම නීති තිබේ. එහෙත් නීතිය නිරුවත් කර තම තමන්ට ඕනෑ හැටියට සෙල්ලම් කරන ඕනෑම ජගතකු ගෙදර යැවීමට නම් ජනතා අරගලයක් සිදු විය යුතුමය. එවැනි අරගල ශ්‍රී ලංකාවේ සිදු වී තිබේ.
ඊයේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී කුසල්ලා මෙරට ක්‍රීඩාලෝලීන්ට පෙන්වා දුන්නේ රටේ නීතියත්, ක්‍රීඩාවේ නීතියත් සෙල්ලමට ගත් ෂම්මිලාගේ කෙරුවාවේ තරම මිස අන් කිසිවක් නොවන බව තරගය අන්ත පරාජයට පත්වීමෙන් පැයක් ගතවීමටත් පෙර ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීන් තේරුම් ගෙන තිබේ.
මුහුණුපොතේ #GoHomeSLCBoard සටන ක්‍රීඩාලෝලීන් ආරම්භ කර ඇත්තේ එනිසාය.
ඔඩිට් රිපෝට් තිබුණත්, කුසලා සරෝජනී වාර්තා තිබුණත්, පාර්ලිමේන්තුවේ වාද විවාද කළත් ක්‍රීඩා ඇමැතිට එළවන්නට බැරි වූ ෂම්මි ප්රමුඛ නඩය එළවා දැමීමේ අරගලය දැන් ජනතාව අතට ගෙන හමාරය.
කටින් බතල හිටවීමේ ක්‍රීඩා ඇමැතිගේ තියරිය ඔහුටම තබා ගන්නැයි කියමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට පණ මෙන් ආදරය කරන මිලියන 22ක් ජනතාව ෂම්මිලා එළවා දැමීමේ සටන අතට ගෙන අවසන්ය.
තරග පරාජය වීම වෙනම එකකි. එහෙත් මෙහෙමත් පරාජයක් දෑසින් දැක බලාගැනීමට සිදුවීමේ පව්කාරකම ක්‍රීඩාලෝලීන්ට උදා කර දුන්නේ ෂම්මිලා ඇතුළු නඩය බව දැන් ක්‍රීඩාලෝලීහු දනිති. ක්‍රිකට් උපදේශක යැයි කියන මහේල ජයවර්ධන මාසයකට ඩොලර් 24,000ක් වැටුප් ගෙන ශ්‍රී ලංකා කණ්ඩායමට දුන් උපදේශය මේ තරගයේදී ඉන්දියාව හමුවේ ලකුණු 55කට දැවී යන්නැයි කියාදැයි අසන ක්‍රීඩාලෝලීන් එකාට දෙන්නා ගානේ back ups ක්‍රීඩකයන් සිටින බව ලෝක කුසලානයට කණ්ඩායම තේරීමට පෙර බයිලා ගැසූ තේරීම් කමිටු ප්‍රධානි ප්‍රමෝද්‍ය වික්රමසිංහවත් එළවා නොදැමුවේ නම් පුදුමය.
ජනතා අරගලයකින් එළවා දමන ලෝක ඉතිහාසයේ පළමු ක්‍රිකට් පාලක මණ්ඩලය බවට ෂම්මිලා පත්වේදැයි කීමට වේලාසන වැඩිය. එහෙත් එය එසේ වූයේ නම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට එය කෙසේ බලපානු ඇතිදැයි පමණක් සිතේ