දිනසේන රතුගමගේ –
පළාත් සභා ක්‍රමය තුළින් මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයට විසදුම් සෙවිය නොහැකි නිසාත් එම ක්‍රමය ශ්‍රී ලංකාව වැනි රටකට නොගැලපෙන නිසාත් දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) පක්ෂයක් වශයෙන් පළාත් සභා ක්‍රමයට අකැමති බව එම පක්ෂයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අද ( 2 ) පැවසීය.
යාපනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කතා කළ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා පැවසුවේ තමන් මේ පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ විශාල හඬක් ගෙන යන බවයි.
ඉන්දියාවේ අවශ්‍යතාවය මත ඇතිවූ මෙම පළාත් සභා ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට හෝ ජනවාර්ගික ප්‍රශ්නයට කිසිදු විසඳුමක් නොලැබෙන්නේ ඒ තුළ ඇති බලය ස්ථාපිත කොට ඇති ආකාරය දුර්වල වීමත් බලතල ක්‍රියාත්මක කිරීමේදී පැනනගින විරෝධතාත් නිසා බවද ඔහු පැවසීය.
රටේ බහුතරයක් සිංහල බෞද්ධ බලවේගයක් ගොඩනැගීමට උත්සහ කරණ අතර වාරයේ පළාත් සභා ක්රමයේ බලතල උතුරට ලබාදීමට සූදානම් වන කවර හෝ රජයකට වූවද දකුණේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් හා බෞද්ධ බලවේග වලින් විශාල විරෝධයක් එල්ල වන නිසා මේ ක්‍රමය කිසිදිනක සාර්ථක නොවන බව පවසන මන්ත්‍රීවරයා මේ නිසා මීට වඩා සුබවාදී වූත් සියළු දෙනාම පිළිගන්නා වූත් දේශපාලන ව්‍යුහයකට යා යුතු බවද සඳහන් කළේය.
රජයේ ඉල්ලීම මත ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා යෝජනාවන් ඉදිරිපත් කිරීමට සිදු වූ අවස්ථාවේදී මීට දින කීපයකට පෙර දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් ඉදිරිපත් කරණ ලද යෝජනා අතරට මේ ක්‍රමය අසාර්ථක බවත් ඊට ගැලපෙන වෙනත් විසඳුම් තම පක්ෂය විසින් ඉදිරිපත් කළ බවත් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා වැඩිදුරටත් පැවසීය.