දේශපාලන අරමුණු වලින් තොරව සමාජ මාධ්‍ය නියාමනය කිරීමට රජය කටයුතු කරන්නේ නම් එයට කිසිවෙකුත් අකමැති නොවනු ඇති බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති.
සත්‍යගරුකව අපහාස උපහාස වලින් තොරව සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයින්ට එම කටයුත්ත නිදහසේ සිදු කරගත හැකි වාතාවරණයක් තිබිය යුතු යයිද උන්වහන්සේ පෙන්වා දුන්හ.
අසත්‍ය තොරතුරු විකෘති කොට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කරන පුද්ගලයින් පාලනය සඳහා නීති ගෙන ඒමේ වරදක් නැතැයි ද මල්වතු මහනාහිමියෝ පැවසූහ.
පදනමකින් තොරව තමන් වහන්සේට ඉකුත් සමයේ සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් අපහාස කළ බව ද පැවසූ මහනාහිමියෝ සත්‍ය විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන අපහාස කිරීම් හේතුවෙන් සාමාන්‍ය ජනතාව දැඩි පීඩනයකට ලක්වන බවද කීහ
ජත්‍යන්තර මානව හිමිකම් හිමිකම් සංවිධානයේ නියෝජිත පිරිසක් අද (01) මල්වතු මහා විහාරයට පැමිණ මහනාහිමියන් බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවසූහ.
නිදහස් දින උත්සවය සඳහා පෙරහුරුවේ දී පැරෂූට් සංදර්ශනයට පුහුණුවන අතරතුර අනතුරට ලක්වූ තිදෙනා ට බරපතළ තුවාල නොමැති බවට රෝහල් අධ්‍යක්වරයා ප්‍රකාශ කරත් දී කකුලකට බරපතළ හානි වූ වෙනත් සිද්ධියක ඡායාරූපයක් සමාජ මාධ්‍යයට මුදාහැර තිබෙන බවත් මේවා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ගෙන එන නීති ජනතාව අනුමත කරන බව ජත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ ජත්‍යන්තර සම්බන්ධීකාරක සුභාෂණ සුභවික්‍රම කීවේය.
ගොරකා දඩමස් කරන පසුබිමක් රටේ තිබෙන බැවින් සත්‍ය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයින් මර්දනය කිරීමට ද මේ පනත යොදා ගැනීමේ හැකියාව තිබෙන බවද හෙතෙම කීය
අසත්‍ය සමාජගත කිරීම මගින් තවත් මානවයෙක් අගතියට පත්වන බවත් ඊට උදාහරණ ඕනෑ තරම් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබෙන බවත් කී ඒ මහතා මානව හිමිකම් ක්‍රියාකාරීන් ලෙස ඒවා පාලනයට යටත්විය යුතුය යන ස්ථාවරයේ තමන් පසුවන බව ද අවධාරණය කළේය







