පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න වයස අවුරුදු 60 සම්පූර්ණවීමත් සමග ලබන මාර්තුවේ දී විශ්‍රාම යෑමට නියමිතව සිටින බැවින් පොලිස්පති තනතුර ලබා ගැනීමේ අභිලාෂය සහිත එක්තරා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් එම තනතුර ලබා ගැනීම සඳහා ප්‍රචාරණ ව්‍යාපෘතියක් සැලසුම් කර මේ වනවිට ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව පොලිසියේ විශ්වාසකටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
ඒ අනුව තමන් සේවය කරනා පළාතේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කැඳවා තමන් වඩාත් උලුප්පා දක්වන ආකාරයට මාධ්‍ය ඔස්සේ වාර්තා සැපයීමට උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.
එමෙන්ම තමන් පොලිස්පති වූ වහාම සැලකිය යුතු සහ දඬුවම් ලබා දිය යුතු පොලිස් නිලධාරීන්ගේ ලයිස්තුවක් ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සම්පාදනය කර ඇතැයි හෙළි වේ.
පොලිස්පති තනතුර ලබා ගැනීම සඳහා මේ වනවිට දේශපාලන වන්දනාවේ යන මෙම පොලිස් ප්‍රධානියා පසුගිය දිනෙක අගමැතිවරයා හමුවී සිය අභිලාෂය දන්වා ඇත. අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඔහුට ඇති බරපතල චෝදනා නිරවුල් කරගෙන පැමිණියහොත් පමණක් ඉල්ලීම ගැන සලකා බැලිය හැකි බවය.
මේ වනවිට ඔහුට හමුවී කතා කිරීමට නොහැකි වී ඇත්තේ ජනාධිපතිවරයා පමණක් බවත්, ජනාධිපතිවරයා හමුවීමට මෙම පුද්ගලයා අවස්ථා කීපයක දී උත්සාහ කර තිබුණත් එම අවස්ථාව මෙතෙක් ලබා නොදීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.