සුසන්ත අමරබන්දු –
අද දින උදේ වරුවේ සූරියවැව, මහපැලැස්ස, වැවේගම තිස්සමහාරම බෙරළිහෙල අවට අහස වසා පැතරී ගිය ආගන්තුක නූලි කැබලි අම්පාර ප්‍රදේශය පුරාත් පැතිරී ගොස් තිබේ.
උදෑසන 08 සිට දහවල් වන තෙක් අම්පාර දිස්ත්‍රික්කය පුරා පෙදෙස් රැසක නූල් වැනි දෙයක් ඉහළ අහසේ දිගින් දිගටම පාවී ගිය බව අම්පාර, උහන, හිඟුරාණ, පාදාගොඩ, දෙහිඅත්තකණ්ඩිය ඇතුළු ප්‍රදේශ රැසක ප්‍රදේශවාසීහු වාර්තා කළහ.
ලංකාසරට අදහස් දැක්වූ දමන දිවියාගල පදිංචි කේ. ලලිත් කුමාර මෙසේ කීවේය.
“ උදේ අටේ ඉඳන් දවල් දොළහ වෙනකම් අහසේ මකුළුදැල් වගේ ද්‍රව්‍යයයක් පා වෙලා ගියා. සමහර ඒවා පුලුන් කුට්ටි ක් වගේ පෙනුණෙ. ඉහළ අහසේ තමයි පාවෙලා ගියේ. මොකක්ද කියලා හිතාගන්න බෑ. “ ඔහු කීවේය.

“ පාවෙලා ගිය සමහර කුට්ටි ගස් වලත් රැදූනා.. සමහර ඒවා බිම වැටුණා. දවල් 12 වෙනකන් වගේ මේ දේ තිබ්බා යැයි දිවියාගල පදිංචි තවත් අයෙක් කීවේය.
දහවල් 01 වන විටත් දෙහිඅත්තකණ්ඩි ප්‍රදේශයේ මෙම ද්‍රව්‍ය පාවූ බව ප්‍රදේශවාසීහු කීහ.
මීට පෙරද අවස්ථා දෙකෙදී පොලොන්නරුව ප්‍රදේශයෙන් මෙවැනි සිදුවීම් වාර්තා වී තිබුණි.
මේ සම්බන්ධව නිශ්චිත අදහසක් දැක්වීමට තවමත් විද්වත්හු අපොහොසත් වී සිටිති.







